හම්බන්තොට වරායේ සංවර්ධනය ගැන ප්‍රංශ රජයත් උනන්දුයිලු

හම්බන්තොට වරායේ සංවර්ධන සම්බන්ධයෙන් ප්‍රංශ රජයද උනන්දුවෙන පසුවන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා පවසා සිටියි. ඊයේ දිනයේදී අරලිය ගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී තානාපතිවරයා මේ බව පවසා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බව ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අගමැතිවරයා වෙත පවසා තිබේ. ඒ තුළින් දෙරට අතර වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ වැඩි ඉඩකඩක් ඇති බව තානාපතිවරයා විශ්වාසය පළ කළ බවත් අගමැති කාර්යාලය පවසයි.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර  ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා දෙරටම උනන්දුවෙන් පසුවන අතර, ශ්‍රී ලංකාව ප්‍රංශයට කරන ප්‍රධාන අපනයන අතර ඇඟලුම්, වටිනා ගල්වර්ග සහ වායුමය රබර් ටයර් ඇතුළත් වේ.

මීට අමතරව අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුලපිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි  සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බවද තානාපතිවරයා මෙහිදී පවසා තිබේ.

එහිදී රාජ්‍ය අංශයේ සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

මේ අතර, පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කර ඇති තානාපතිවරයා, කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය  ඉතා ප්‍රශංසනාත්මකව අගය කළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

එසේම, කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම  ශ්‍රී ලංකාවේ  ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

Visits: 58