වටිනාකම් අඩු වූ කොටස් මිලට ගැනීමේ උනන්දුව නිසා දර්ශක අගයන් ඉහළට

පිට පිට දෙවැනි දිනටත් අද දිනයේදී (නොවැම්බර් 04) කොළඹ කොළඹ කොටස් හුවමාරුව තුළ  ඉහළ ගැණුම්බරතාවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම අඩු වටිනාකම්වල කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජක උනන්දුව ඉහළ යාම සිදුව තිබේ.    

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,863.45ත් ඒකක 5,925.19ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,905.91 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 03) දිනයට සාපේක්ෂව එය ඒකක 62.64 ක් එනම් +1.07%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ වැලිබල් පවර් එරත්න පීඑල්සී ගනුදෙනු පිරිවැටුම සඳහා 13% ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 120ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී  EXPO (+7.63), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.66), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+5.87),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (+4.8), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4.56), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-5.13), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.83),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.88),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.46)  සහ ලංකා අයිඕසී පීඑල්සී LIOC (-0.98) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,317.83 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 03) දිනයට සාපේක්ෂව ඒකක 23.44 ක එනම් +1.02%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.53ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 03දා) වාර්තා කළ රුපියල් බිලියන 2.71ට සාපේක්ෂව 30%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.57ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.75%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 105.76ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 408.43 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 302.7 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.08ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 31.93කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 100.85ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 908ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන භාණ්ඩ සහ උපයෝගිතා අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 715ක සහ රුපියල් මිලියන 596ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 333