චීන රජයේ මැදිහත්වීමෙන් ලොව විශාලතම මහජන කොටස් නිකුතුව කල් යයි

චීනයේ අලිබාබා සමූහයට අයත් ඈන්ට් ගෘප් සමාගම හෙට (නොවැම්බර් 05 බ්‍රහස්පතින්දා) දිනයේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ සිය මූලික  මහජන කොටස් නිකුතුව කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. චීනයේ ෂැන්ග්හයි කොටස් වෙළෙඳ පොළ තුළ මෙන්ම හොංකොංහි කොටස් වෙළෙඳ පොළේදී මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබුණි.

කෙසේ වෙතත් නිකුතුවට පැය 48කට පෙරාතුව නිවේදනයක් නිකුත් කර ඇති ෂැන්ග්හයි කොටස් හුවමාරුව, සිය ෆින්ටෙක් ආවේක්ෂණ රෙගුලාසි වෙනස් කිරීමකට ලක් කිරීම මෙම මූලික හිමිකම් නිකුතුව කල් දැමීමට හේතුව ලෙස පවසා තිබේ. චීන රජය විසින් සිදු කළ මැදිහත්වීමක් අනුව මෙම රෙගුලාසි වෙනස් කිරීම් සිදුව තිබේ.

ඒ අනුව ඇන්ට් ගෘප් සමගාමට ෂැන්ග්හයි කොටස් හුවමාරුව මගින් ඉදිරිපත් කර ඇති නව ලැයිස්තුගතවීමේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට සිදුව තිබේ.

ෂැන්ග්හයි කොටස් හුවමාරුවට අමතරව ඇන්ට් ගෘප් ලැයිස්ගුත වී තිබූ හොංකොං කොටස් හුවමාරුවද මෙම මූලික මහජන කොටස් නිකුතුව කල් දැමීමට තීරණය කර ඇතැයි නිවේදනය කර තිබේ.

හෙට දිනයේදී සැලසුම් කර තිබූ මෙම කොටස් නිකුතුව එතෙක් මෙතෙක් ලොව සිදු වුණු වඩාත් විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවටද පත්වීමට නියමිතව තිබුණි. එහිදී ඉහත සඳහන් කළ කොටස් හුවමාරු ද්විත්වය හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 34ක මුදලක් උපයා ගැනීම සැලසුම වීම ඊට හේතුව විය.

මීට පෙර ලොව විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස වාර්තා වන්නේ පසුගිය වසරේදී සිදු කළ සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවයි. ඒ හරහා ඩොලර් බිලියන 29ක මුදලක් සම්පාදනය කරගැනීමට ඇරැම්කෝ සමාගමට හැකි විය.

කෙසේ වෙතත් මෙම මූලික මහජන කොටස් නිකුතුව අත්හිටුවීමත් සමගින්ම අද පෙරවරුවේදී අලිබාබා සමාගමේ කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස පහළ වැටුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පෙර ලිපි
Ant Group ලොව විශාලතම මූලික හිමිකම් නිකුතුවට සැරසෙයි

Visits: 317