කාර්ය මණ්ඩලයේ COVID-19 ආසාදිතයන් දෙදෙනාගෙන් පසු සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් ආරක්ෂිතයිලු

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක සුපිරි වෙළෙඳ සැල් ජාලය වන සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්හි කොට්ටාවේ පිහිටි සුපිරි වෙළෙඳ සැලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව සිය සුපිරි වෙළෙඳ සැල් ජාලයම, ගබඩා සංකීර්ණ මෙන්ම ප්‍රධාන කාර්යාලයද විෂබීජහරණයට ලක් කළ බව එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

“මෙම සිදුවීමෙන් අනතුරුව අදාළ ආසාදිතයන් දෙදෙනා සමගින් ඍජුව සහ වක්‍රව සම්බන්ධ වුණු සියලුම කොට්ටාව සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් වෙළෙඳ සැලේ සියලුම සේවකයන් ඉක්මණින්ම පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණා. ඒ වගේම ඔවුන් දින 15ක ස්වයං නිරෝධායනයකටත් ලක් කෙරුණා. මීට අමතරව සමස්ත කොට්ටාව සුපිරි වෙළෙඳ සැල් පරිශ්‍රය මෙන්ම රථ ගාල, ආහාර ගන්නා ස්ථාන, පොදු අවකාශ, සනීපාරක්ෂක පහසුකම් ස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි පිරිසිදු කර විෂබීජහරණය කිරීමටත් ලක් කළා.” සමාගම පවසයි.

එසේම මෙම COVID-19 වෛරසය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම උපදෙස් දැඩිව ක්‍රියාත්මක කිරීමටත්, වෛරසයට එරෙහිව ගත හැකි ආරක්ෂිත පිළිවෙත් සියල්ල සිය සුපිරි වෙළෙඳසැල් සියල්ල, ගබඩා සංකීර්ණ මෙන්ම  ප්‍රධාන කාර්යාලය තුළදීද උපරිමව ගැනීමටත් කටයුතු යොදන බවත් සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සඳහන් කරයි. ඒ හරහා මෙම වෛරසය තවදුරටත් සිය ජාලය තුළ ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණ වී තිබේ.

පූර්ව සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙතක් ලෙස පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිය සුපිරි වෙළෙඳ සැල් ජාලය තුළ සිදු කළ අහඹු පීසීආර් පරීක්ෂාවක් හරහා මෙම ආසාදිතයන් දෙදෙනා හඳුනාගත් බවත්, ඒ අනුව අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා මේ වනවිටත් රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය යහපත් බවත් සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් පවසයි.

“සෑම  විටමඅපගේ මූලිකත්වය වන්නේ අපගේ සේවකයන්, ව්‍යාපාරික හවුල්කරුවන් වගේම පාරිභෝගිකයන් ඇතිළු සියලුම කොටස්කරුවන්ගේ ආරක්ෂාවයි. මෙම අවස්ථාවේදී සියලුම දෙනාගේ ගෞරවය, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමටත් කටයුතු යොදනවා.” යනුවෙන්ද සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් වැඩිදුරටත් පවසයි.

Visits: 57