“2021 අයවැය සංවර්ධනය මූලික කරගත්තක්” – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

“ගෑස් සිලින්ඩරයක හරි පොල් ගෙඩියක  හරි මිල අඩු කිරීමට වඩා පොළී අනුපාත අඩු කිරීම ජනතාවට වඩා වැඩි සහනයක්.” යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි.

වත්මන් රජයේ පළමු අයවැය ලෙස ලබන නොවැම්බර් 17 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත ‘අයවැය 2021’ සංවර්ධනය දිශානතිය කරගත් අයවැයක් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් පළ කර තිබේ. ඒ අනුව මෙම අයවැය හරහා සාර්ව ආර්ථික මූලධර්මයන් වෙත අවධානය යොමු කරවන බවත්, ණය ආපසු ගෙවීම සුරක්ෂිත කිරීම, විදේශ තැන්පත් තවදුරටත් ඉහළ නංවා ගැනීම මෙන්ම රුපියල ශක්තිමත් කිරීමත් යනාදිය වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

විශේෂයෙන්ම වත්මන් රජයේ පළමු අයවැය ලෙස ඉදිරි ආයෝජනයන් ලෙස නව ව්‍යාපාර වෙත වැඩි පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවන බවත් කබ්රාල් මහතා සඳහන් කරයි.

“වඩාත් ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් පවත්වාගෙන යාම, රැකියා බිහි කිරීම සහ ජාතික වශයෙන් උද්ගතවන කාරණා වෙත පිළිතුරු සැපයීම රජය විදියට අපේ අවධානයයි. ඒ නිසා රජයේ ඉදිරි අයවැය ජනතාවගේ සමෘද්ධිය ආරක්ෂා කරන සංවර්ධනය දිශානතිය කරගත් අයවැයක් බවට පත්වේවි.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

විශේෂයෙන්ම රජය විසින් ඉදිරි හාස කිහිපයේදී රටෙහි පහළ  මට්ටමේ ලක්ෂ ගණනක පිරිසකට රැකියා ලබාදීමට සාර්ථක ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා උපාධිධාරීන් 60,000ක් ද රජයේ සේවය සඳහා බඳවා ගන්නා බවද පවසා සිටියි.

මීට අමතරව ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙතද ඉදිරි වසර කිහිපයේදී තවදුරටත් සහන ලබා දීමට කටයුතු යොදන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

“බදු කපා දැමීම සහ අඩු පොළී මට්ටමක් පවත්වාගෙන යාම මෙතැනදී රජය විසින් ජනතාවට ලබා දී ඇති විශාලතම සහනයි. ගෑස් සිලින්ඩරයක  හරි පොල් ගෙඩියක  හරි මිල අඩු කිරීමට වඩා පොළී අනුපාත අඩු කිරීම ජනතාව වඩා වැඩි සහනයක්. ඒ නිසා ජනතාව එවැනි සහන පිළිබඳව අවධනය යොමු කරාවි කියලා මම හිතනවා'” අමාත්‍යවරයා පුවත්පත වෙත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 589