මාස පහකට පසු ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යළි පහළ බසී

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල මේ සති අන්තය වනවිට කැපී පෙනෙන ලෙස පහළ බැස ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව මාස පහකට ආසන්න කාලයක් බැරලයක් ඩොලර්  40 ක සීමාවේ පැවැති Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 37ත් WTI (West Texas Intermediate) බොර තෙල් බැරලයක මිල ඩොලර්  35ත් ලෙස සටහන්ව තිබේ.

විශේෂයෙන්ම යුරොපයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමගම ඊයේ දිනයේ සිට ප්‍රංශය තුළ මෙන්ම ජර්මනිය තුළත් යළි ක්‍රියාත්මක ලොක්ඩවුන් සීමා හේතුවෙන් වෙළෙඳ පොළ තුළ ඇති වූ කම්පන සහගත තත්ත්වය මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල පහත වැටීමට හේතු වී තිබේ. එසේම ඔපෙක් සාමාජික රාජ්‍යයන්ද වසර 2021 වන තෙක්ම සිය බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීමක් සඳහාද යොමු නොවන බව ප්‍රකාශ කර තිබේ.

Oilprice.com වෙබ් අඩවියේ සඳහන් ආකාරයට පසුගිය ඔක්තෝබර් 27 වැනිදා වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 41.61ක් බවට පත්ව තිබුණි.  එහෙත් මේ මොහොත වනවිට එම බොරතෙල් බැරලයක මිල ඩොලර් 37.94ක් බවට පත්ව තිබේ. එසේම ඔක්තෝබර් 27 වැනිදා වන විට WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 38.55ක් වූ අතර, අද වනවිට එම අගය ඩොලර් 35.75 ක් වී තිබේ.

Visits: 242