වැවිලිකරුවන්ගේ සංගමයෙන් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක්

පසුගියදාට යෙදී තිබුණු ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් වතු කම්කරුවන්ගේ සංගමය මගින් ප්‍රාදේශීය වතු සමාගම්වලට අයත් වතුකම්කරුවන් උදෙසා නව නිවාස 39,150ක් සාදා නිම කළ බව පවසයි. එසේම ප‍්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) මෙහෙයවීම යටතේ වතු කම්කරුවන්ට ඉදිරි වසර පහ තුළ තවත් නිවාස 10,000 ක් ඉදිකර භාර දෙනු ලබන බවත් සඳහන් කරයි.

මිලියනයකට වඩා මඳක් වැඩි සමස්ත ජනගහනයක් සමඟ පවුල් 251,950 ක් දැනට ප‍්‍රාදේශීය වතු සමාගම්වල සිටින නමුත් සමස්ත ලියාපදිංචි වතු කම්කරුවන් සංඛ්‍යාව 135,000 ක් පමණකි. එම ආයතනවලට අයත් වතුවල වාසය කරන පවුල්වලින් 16% කට පමණ නව නිවාස ලැබී ඇති අතර 57% කට පමණ ඔවුන්ගේ නිවාස නැවත සෙවිලි කර දී ඇත.

මෙම සෑම නිවෙසක්ම පර්චස් 7ක ඉඩමක වර්ග අඩි 550ක භූමි ප‍්‍රදේශයක ඉදි කිරීමට නියමිත අතර එක් නිවසක වටිනාකම රුපියල් මිලියනයකි. මේ සෑම නිවාසයක්ම කාමර දෙකකින්ද, සාලයකින්ද, මුළුතැන්ගෙයකින් සහ වැසිකිළියකින් සමන්විත වන අතර නල ජල පහසුකම් ද ඇත. ගෙවතු වගාව සඳහා භාවිතා කළ හැකි පරිදි පර්චස් 3ක භූමි ප‍්‍රදේශයක් ද නිවෙස් වටා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති, එයිට්කන් ස්පෙන්ස් හි ඇල්පිටිය වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී භාතිය බුළුමුල්ල මහතා “අපගේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ශක්තිය වන්නේ මානව සම්පතයි. මෙම විවිධ නිවාස ව්‍යාපෘති තුළින් අපගේ වතු කම්කරු ජනතාවගේ සුභසාධනය හා ජීවන තත්වය නගා සිටු වීමට අප දරන කැපවීම නැවත අවධාරණය කරනවා.” යනුවෙන් පවසයි.

එසේම සිය වතු සමාගම්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා පසුගිය වසර කිහිපය පුරාවටම ස්ථිර පියවර ගෙන තිබෙන බව පවසා ඇති සභාපතිවරයා, නැවත සෙවිලි කිරීමේ කටයුත්ත තාවකාලික පියවරක් ලෙස සිදු කරන බව ද පවසා තිබේ.

“නිවාස සඳහා දැඩි ඉල්ලූමක් පවතින නිසා සැමටම නව නිවාස ඉදිකිරීමට සැලකිය යුතු කාලයක් සහ සම්පත් අවශ්‍ය වෙනවා. එනිසා නව නිවාස හිමිවන තුරු දැනට පවතින යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා නැවත සෙවිලි කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

එසේම “තේ කර්මාන්තය ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ක්ෂේත‍්‍රයක් බැවින්, ඵලදායී ශ‍්‍රම බලකායක් පවත්වාගෙන යාමේ අභියෝගය ඉතා වැදගත් බවත්, වතු ක්ෂේත‍්‍රය දෙස සුභවාදීව බැලීම අත්‍යවශ්‍යයි” යනුවෙන්ද ඔහු පවසා සිටියි.

මීට අමතරව වැවිලි මානව සංවර්ධන භාරය පිළිබඳව අදහස් දක්වන ඒ මහතා, එය වතු කම්කරුවන් සඳහා අවශ්‍ය නිවාස යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය හා සමාජ සුභසාධනය වෙනුවෙන් කැපවී සිටින බවත් සඳහන් කරයි.

එහිදී කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ පසුබෑම හේතුවෙන් සුළු ප‍්‍රමාදයන් මධ්‍යයේ වුවද අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙමින් පවතින බවද පවසයි. කෙසේ වෙතත්, බොහෝ අංශයන්හි අප මුහුණ දෙමින් සිටින අභියෝග නොතකා මෙම න්‍යාය පත‍්‍රයට අනුව ක‍්‍රියා කිරීම ප‍්‍රමුඛතාව බවත් හෙතෙම සඳහන් කර සිටියි.

Visits: 64