ලාෆ්ස් ලෙෂර් සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී ලැයිස්තුගතවීම ප්‍රමාද වුණේ කොවිඩ්-19 නිසාලු

ලාෆ්ස් හෝල්ඩිංග්ස්හි ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක වන ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් (LLL) සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී ලිමිටඩ් (LES) යන සමාගම්  කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වීම ප්‍රමාදවීම සඳහා COVID-19 නිසා ඇති වූ අයහපත් තත්ත්වය හේතු වූ බව එම සමාගම කොළඹ කොටස්  හුවමාරුව වෙත දන්වා සිටියි.

ලාෆ්ස් ගෑස් පීඑල්සීහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබාලගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් කොළඹ කොටස් හුවමාරුව වෙත යවමින් මේ කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ලාෆ්ස් ලෙෂර් සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී යන සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වසරේ මැයි 18, මැයි 22 සහ ජූනි 10 වැනිදා කොළඹ කොටස් හුවමාරුව මගින් නිකුත් කර තිබූ ආවේක්ෂණ ලිපි සඳහා වන පැහැදිලිකිරීම් මේ වනවිටත් ලාෆ්ස් ගෑස් සමාගම මගින් සිදු කරමින් පවතින බවත් ලිපියේ සඳහන් වෙයි.

එහිදී 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගම් දෙකෙහිම විගණනය කරන ලද මූල්‍ය වාර්තාවල වැඩ අවසන් කිරීම ප්‍රමාදවීමක් මෙහිදී සිදුව ඇති බවත්, රට තුළ ව්‍යාප්තවුණු COVID-19 වෛරස තත්ත්වය නිසා කටයුතුවල සිදුවුණු පසුගාමී තත්ත්වය ඒ සඳහා හේතු වූ බවත් ලාෆ්ස් ගෑස් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් අද වනවිට සමාගම ලාෆ්ස් ලෙෂර් සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී යන සමාගම් දෙකෙහිම වාර්ෂික ගිණුම් වාර්තා අවසන්කරමින් සිටින බවත් එය ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කරන බවත් සමාගම දැනුම් දී සිටියි.

2017 වසරේ දෙසැම්බර් මාසයේ 28 වැනිදා ලාෆ්ස් ගෑස් සමාගම මගින් ලාෆ්ස් ලෙෂර් සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී යන සමාගම් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවට පළමුවරට අනාවරණය කෙරිණි. එසේම 2018 ජනවාරි 10, පෙබරවාරි 23, මාර්තු 23 සහ සැප්තැම්බර් 17 වැනිදාද එම කරුණ සඳහන් කෙරිණි. ඊට අමතරව 2019 ජූලි 01 වැනිදා මෙන්ම 2020 ජූලි 8 වැනිදාත් සමාගම මේ පිළිබඳ  සාංගමික හෙළිදරව්ව සිදු කර තිබේ.

“ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් (LLL) සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී ලිමිටඩ් (LES) යන සමාගම් කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන මූලික ලැයිස්තුගතවීමේ ඉල්ලුම්පත්‍රය 2018 සැප්තැම්බර් 11 වැනිදා සහ 2019 දෙසැම්බර් 18 වැනිදා ඉදිරිපත් කර තිබේ.”  සමාගම සඳහන් කර සිටියි.

‘අනන්තය’ සන්නාමය යටතේ ක්‍රියාත්මක අනන්තය රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් හි හිමිකම පවතින්නේ ලාෆ්ස් ලෙෂර් ලිමිටඩ් සමාගමටයි.

අද වනවිට ලාෆ්ස් ගෑස් පීඑල්සී (LGL) සහ ලාෆ්ස් පවර් පීඑල්සී (LPL) යන සමාගම් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගතව සිටියි.

Visits: 407