අයිඩියල් සමූහය Takas.lk මිලදී ගනී?

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ මිලදී ගැනීමේ වෙබ් අඩවියක් වන Takas.lk වෙබ් අඩවිය මිලදී ගැනීම සඳහා මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික නලින් වෙල්ගම මහතාට අයත් අයිඩියල් සමූහ ව්‍යාපාරය මගින් කටයුතු යොදා ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසක්  හිමි අයිඩියල් සමූහ ව්‍යාපාරය සතුව මේ වනවිට මෝටර් රථ, සූර්ය බල විදුලිය, මූල්‍ය, මෝටර් රථ අමතර කොටස්, මෝටර් රථ අලුත්වැඩියාව, ලිහිසි තෙල් අලෙවිය ඇතුළු ක්ෂේත්‍ර රැසක පරිපාලිත සමාගම් 20කට ආසන්න ප්‍රමාණයක් පවතී. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අයිඩියල් සමූහය ඉ-වානිජ ව්‍යාපාරය වෙතත් පිවිසෙයි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඩේලිමිරර් පුවත්පත සිදුකළ විමසීමකට ඉ-මේල් පණිවුඩයක් හරහා පසුගියදා පිළිතුරු ලබා දී ඇති Takas.lk හි සම නිර්මාතෘවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ලහිරු පත්මලාල් මහතා, අයිඩියල් සමූහය වෙත එම වෙබ් අඩවිය අලෙවි කළ බව පවසා ඇත.

“Takas.lk දැන් අයිඩියල් පවුල යටතේ පවතින්නේ. එහි සභාපති නලින් වෙල්ගම මහතා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කරන දේශීය  ඉ-වානිජ විසඳුමක් විදියට Takas.lk හි ඇති වටිනාකම දැක්කා.” පත්මලාල් මහතා එම ඉ-මේල් පණිවුඩයේ දක්වා ඇත.

ඔහු පවසන ආකාරයට මෙම නව හවුල්කාරීත්වයත් සමගින් Takas.lk වෙත සිය පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් සැපයිය හැකි බවත්, ඊට වඩා වැඩි නිෂ්පාදන පෙළක් එකතු කරගත හැකි වනු ඇති බවත් සඳහන් වෙයි.

පුවත්පත පවසන ආකාරයට Takas.lk හි සම නිර්මාතෘවරුන් වන ඉදිරි මාස හයක කාලයක් සඳහා අයිඩියල් සමූහය යටතේ සේවය කරනු ඇති බවත් පැවසෙයි. එසේම අද වනවිට අයිඩියල් සමූහය එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක වටිනාකමින් යුත් ව්‍යාපාරයක් බවත් සඳහන් වෙයි.

Visits: 165