ශ්‍රී ලංකාවේ ශීත කළ කුකුළු මස් ඕමාන රජයේ ඇගයුමට

මෑතක සිට ශ්‍රී ලංකාවෙන් ඕමානයට ශීත කළ කුකුළු මස් අපනයනය කීරිම ඉතාමත් අගය කළ  යුතු අවස්ථාවක් බව ඕමානයේ නව වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා පැවසූ බව මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඕමානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනිම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා හා ඕමාන රජයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා අතර පසුගියදා  පැවැත්වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ඕමානය වෙත අපනයනය කෙරෙන ශීත කළ කුකුළු මස් පිළිබඳවද තමන් සතුටට පත්වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඕමානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක සහ ඕමාන එක්ස්පෝ 2020 – ඩුබායි හි කොමසාරිස් ජනරාල් මොහ්සින් ඛාමීස් අල් බලූෂී මහතාද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

මෙහිදී දෙදෙනා අතර ඵලදායී සාකච්ඡාවක් පැවැත් වූ බවත්, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධාකාර වූ අංශ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන විධි ක්‍රම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සහ ඕමානයේ ව්‍යවසායකයන් අතර වඩ වඩාත් අන්තර් ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේ සහ දෙරට අතර පවත්නා වෙළඳ හා ආයෝජන නව ඉඩප්‍රස්තා පිළිබඳව සොයාබැලීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරී ඇත.

එසේම දෙරට අතර අංශ රාශියක් සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික වෙළඳාම සඳහා ඉතා විශාල ඉඩප්‍රස්තාවක් පවතින බවද මෙම සාකච්ඡාවේදී ඕමාන අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.  දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳ හා ආයෝජන ගලනයන් වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමටද මෙහිදී එකඟතා ඇති කරගෙන තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද තානාපතිවරයා සමඟ මෙම රැස්වීමට එක්ව ඇත.

Visits: 79