නිරෝධායන ඇඳිරියත් සමග සමාගම් 165ක කොටස් වටිනාකම් පහතට

අද දිනයේදී (ඔක්තෝබර් 28) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී වැවිලි සමාගම් අංශය යටතේ තලවාකැලේ වතුයාය මගින් පෙන්නුම් කළ සාර්ථකත්වයත් සමගින්ම දර්ශක අගයන්හි ඉහළ යාමක් දැකගත හැකි වුවත්, රජය මගින් මේ සතිඅන්තය සඳහා බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට දහවලේදී ගත් තීරණයත් සමගින්ම තත්ත්වය වෙනස් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව ප්‍රධාන පෙළේ සමාගම් රැසකම කොටස් වටිනාකම් පවා දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළ බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කර සිටියි.  

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,572.82ත් ඒකක 5,724.52ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,600.20 ක් බවට පත්විය. ඊයේ (ඔක්තෝබර් 27) දිනයට සාපේක්ෂව එය ඒකක 80.08 ක් එනම් -1.41%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී කිසිදු පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු  ගනුදෙනුවක් පිරිවැටුම සඳහා දායකත්වය ලබා දී නැති අතර, සමස්ත පිරිවැටුම සාමාන්‍ය ගනුදෙනු හරහා උත්පාදනය වී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 25ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 165ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී  JKH (+1.21), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+0.44), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+0.27),  ජෝන් කීල්ස් පීඑල්සී JKL (+0.27), අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී AGAL (+0.22), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-6.77), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-5.8),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.7),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.17)  සහ  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-3.14) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,238.97 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 27) දිනයට සාපේක්ෂව ඒකක 22.00 ක එනම් -0.97%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 27දා) වාර්තා කළ රුපියල් බිලියන 1.09ට සාපේක්ෂව 15%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.44ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.45%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 82.41ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 223.30 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 140.9 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.75ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 0.77කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 31.37ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 275ක් සඳහා නිෂ්පාදන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 250ක සහ රුපියල් මිලියන 212ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 224