ශ්‍රී ලංකාවේ සංචාරක කරමාන්තය ප්‍රවර්ධනයට ‘Go on a couch safari’ නොවැම්බර් 04 සිට

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කඩා වැ ටී ඇති මෙරට සංචාරක කර්මාන්තය ඉදිරියටත් රැක ගැනීමේ අරමුණින් වනජීවී ආකර්ෂණයක් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට වනෝද්‍යාන සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සිදු කිරිමට සැලසුම් කර ඇති සජීවී වීඩියෝ ස්ට්‍රීම් වැඩසටන් ලබන නොවැම්බර් 04 වැනිදා සිට 13 වැනිදා දක්වා විකාශය කෙරෙන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ලෝකයේ කොතැනක හෝ සිට නිවසේ හිඳ ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ සෆාරි අත්දැකීමක් ලබා ගත හැකි ලෙස සකස් කර ඇති මෙම වැඩසටහන් මාලාව ‘Go on a Couch Safari’ ලෙස නම් කර තිබේ. මෙහිදී මින්නේරිය, කවුඩුල්ල, යාල සහ උඩවලව යන ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව මෙම සජීවී අන්තර්ජාල වීඩියෝ විකාශනය සිදු කරයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් පිටුවෙන් සහ එහි සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මෙම වීඩියෝ දර්ශන නැරඹීම වෙත යොමු විය හැකිය. වැඩසටහනේ ආරම්භය ලෙස මින්නේරිය ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ විකාශයක් සිදු කිරීම සැලසුම වී තිබේ. විශේෂයෙන්ම මෑතකදී පළමුවරට නිවුන් අලි පැටවුන් උපතක් වාර්තා වූ වනෝද්‍යානය ලෙසද මින්නේරිය සැලකෙයි. මෙම අවස්ථාවද ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත බොහෝ වනජීවී පරිසරය වෙත ආදරය කරන සංචාරකයන් ආකර්ෂණයට හේතුවක් බවද කාර්යාංශය පවසයි.

මෙම ‘Go on a Couch Safari’ වැඩසටහනේ පෙළගැස්ම අනුව නොවැම්බර් 4 සිට නෙවැම්බර් 13 දක්වා තෝරාගත් කාලයන්හිදී මෙම විකාශයන් සිදු කරයි. ඒ අනුව පළමු දිනය, නොවැම්බර් 04 වැනිදා මින්නේරිය වනෝද්‍යානය පිළිබඳ වැඩසටහන පස්වරු 2.00ට විකාශය කෙරේ. නොවැම්බර් 05 වැනිදාත් පස්වරු 2.00 සිට මින්නේරිය  පිළිබඳ වැඩසටහන විකාශය කෙරේ.

නොවැම්බර් 08 වැනිදා කවුඩුල්ල වනෝද්‍යානය පිළිබඳ වැඩසටහන පස්වරු 2.00ට විකාශය කෙරේ. නොවැම්බර් 09 සහ 10 දෙදින තුළ උඩවලව ජාතික වනෝද්‍යානය සජීවී ස්ට්‍රීම් සේවාවට ඇතුළත් වන අතර 09 වැනිදා පෙරවරු 7.00ටත්, 10 වැනිදා පස්වරු 3.00ටත් එය විකාශය ආරම්භ කරයි.

නොවැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා දින තුන යාල වනෝද්‍යානය වෙත වෙන් කර ඇත. එහිදී 11 වැනිදා සහ 12 වැනිදා පෙරවරු 7.00ටත් 13 වැනිදා පස්වරු 3.00ටත් මෙම වැඩසටහන් විකාශය ආරම්භ වෙයි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණයේ සභාපතිනී කිමර්ලි  ප්‍රනාන්දු මහත්මිය, “සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් භූමිකාවක් රඟදක්වනවා. ඒ නිසා සියල්ල යථාවත් වූ විගස  යළිත් ශක්තිමත්ව ඉදිරියට ඒමට අප සූදානමින් සිටිය යුතුයි. මේ පණිවුඩය තවදුරටත් ප්‍රවර්ධනය කරන්න පිරිස පාදක කරගත්ත වැඩසහන් කිහිපයක්ම අපි ඉදිරිපත් කරන්න සූදානමින් සිටිනවා. එසේම මෙහිදී අපි අපගේ විදේශීය ප්‍රේක්ෂකයන් වෙත මෙරට තුළ නිවාඩු ගත කිරීම සඳහා අවස්ථාව දිනා ගැනීමේ හැකියාවන්ද සලසා තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 105