ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අඟහරුවාදා මෙරටට එයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පිඕ මහතා ලබන අඟහරුවාදා (ඔක්තෝබර් 27දා) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඔක්තෝබර් 28 වැනිදා දක්වා දින දෙකක් ඔහු මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවීමට සූදානමින් සිටියි.

මෙම සංචාරයේදී රාජ්‍ය ලේකම්වරයා මෙරට ජනපතිවරයා සහ අගමැතිවරයා සමගින් සාකච්ඡා පවත්වන බවත්, විදේශ අමාත්‍යවරය සමගින්ද සාකච්ඡා පවත්වන බවත් විදේශ අමාත්‍යාංශය පවසයි.

මෙහිදී එක්සත් ජනපදයත් – ශ්‍රී ලංකාවත් අතර ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් පවතින එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයිද සඳහන් වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකාව වෙත සංචාරය කරන ඉහළ මට්ටමේ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියා වන්නේද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ මහතාය.

පොම්පිඕ මහතාගේ මෙම සංචාරයට පෙරාතුව  එක්සත් ජනපද ආරක්ෂකයන් පිරිසක් පසුගියදා මෙරටට පැමිණීම සිදු විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ යං ජියෙෂි (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිසක් පසුගියදා මෙරටට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරය සඳහා කටයුතු යොදා තිබුණි.

Visits: 79