“කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීම හමුවේ කෙටිකාලීන වර්ධන අපේක්ෂා අඩාල විය හැකියි” – මහ බැංකුව

පළමු වැනි කාර්තුවේදී වාර්තා වූ සේවා නියුක්තියේ විශාල අඩුවීම දෙවැනි කාර්තුවේදී නොවෙනස්ව පැවතීම එම කාර්තුවේදී ආර්ථික වර්ධනය අතිශය පිරිහීමට ලක් නොවී පැවතුණු බව පෙන්නුම් කරන බවත් මහ බැංකුව පවසයි.

දේශීය වශයෙන් මෑතකදී ඇති වූ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීම හමුවේ කෙටිකාලීන වර්ධන අපේක්ෂා අඩාල විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය වේගවත්ව යථා තත්ත්වයට පත් වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද මහ බැංකුව සඳහන් කරයි.

2020 ඔක්තෝබර් මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් මේ කරුණු පෙන්වා දී තිබේ. ඒ අනුව “මෑතක සිට දේශීය වශයෙන් පෙන්නුම් කරන අනපේක්ෂිත කොවිඩ්-19 පොකුරු මගින් රටෙහි ආර්ථක වර්ධන තත්ත්වයන් කෙරෙහි කෙටි කාලීනව යම් බලපෑමක් එල්ල විය හැකියි. එහෙත් වසංගතය පැතිරීම පාලනය සඳහා රජය විසින්  ගෙන යමින් පවතින කඩිනම් පියවර මගින් මෙම බලපෑම සීමා වෙනු ඇති.” මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

“2020 වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකයෙහි සංකෝචනය වූ ප්‍රමාණය පළමු කාර්තුවට වඩා විශාල අගයක් විය හැකියි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ඇරඹුණේ තුන්වැනි කාර්තුවේදීයි.” මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2020 වසරේ පළමු කාර්තුවේදී 5.7%ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ සේවා වියුක්ති අනුපාතිකය දෙවන කාර්තුවේදී 5.4%ක් දක්වා අඩුවී තිබේ.

එසේම දෙවන කාර්තුවේදී සේවා නියුක්තියද, පළමු වැනි කාර්තුවේදී වාර්තා වූ විශාල අඩුවීමට සාපේක්ෂව සමස්තයක් ලෙස නොවෙනස්ව පැවතුණු බව වාර්තා වී තිබේ. “ඒ අනුව දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය අතිශය පිරිහීමට ලක් නොවී පැවතුණු බව එයින් පෙනී ගොස් තිබෙනවා.” මහ බැංකුව පවසයි.

එසේම රට පුරා පැවැති සංචරණ සීමා කිරීමේ ක්‍රියාමාර්ග ලිහිල් කිරීමෙන් පසුව පූර්ය දැනුම් දීමේ දර්ශක හා අධි සංඛ්‍යාන දත්තයන්හි ප්‍රවණතා මගින් ද ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යථා තත්ත්වයට ළගා වෙමින් තිබූ බව පෙන්නුම් කළ බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 141