එකම ස්ථානයක් තුළ තේ යායක අත්දැකීම් ලබා දීමට යන ‘ජෝර්ජ් ස්ටුවර්ට් ටීස්’

ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් සමාගම මගින් කැලණිය තල්වත්ත ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති නවීන තාක්ෂණයෙන් සමන්විත තේ සැකසුම් සහ ඇසුරුම් මධ්‍යස්ථානය හරහා එකම ස්ථානයක් තුළ තේ යායක අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත උදා කරදීම අරමුණ බව එම සමාගම පවසයි.

අක්කර 6ක භූමි ප්‍රමාණයක වර්ග අඩි 150,000ක ප්‍රමාණයෙන් යුතුව ඉදිවන මෙම කර්මාන්ත සංකීර්ණය තේ සහ ඇසුරුම් ද්‍රව්‍ය ගබඩා කිරීම, සැකසීම, මිශ්‍ර කිරීම, පැකට් කිරීම සහ ඇසුරුම් කිරීම ආදී පහසුකම් රැසකින් යුක්ත වන බව සමාගම පවසයි. එසේම වසරකට තේ කිලෝ ග්‍රෑම් මිලියනයකට අධිකව ගබඩා කිරීමේ පහසුකම් සහිතව මෙම කර්මාන්තශාලා සංකීර්ණය ඉදි වන බවත් සඳහන් වෙයි.

“නවීන තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය මැෂින් ආධාරයෙන් සිදුවන නිෂ්පාදන කාර්යයන් මෙන්ම බහු ස්ථර ගබඩා රාක්කවලින්ද මෙම කර්මාන්ත සංකීර්ණය සමන්විත වෙයි. තවද අන්තර්ජාතික ගැනුම්කරුවන් සඳහා පරීක්ෂා කිරීමේ සහ තේ රස බැලීමේ පහසුකමද මෙම ආයතනය තුළ සකසා ඇති බැවින් එකම ස්ථානයක් තුළ තේ යායක අත්දැකීම ලබා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත උදා වෙයි.” සමාගම පවසයි.

මෙම මධ්‍යස්ථාන තේ වල නැවුම් බව සහ ගුණාත්මක බව ආරක්ෂා කිරීම වෙනුවෙන් උෂ්ණත්වය පාලනය කිරීමේ සිසිලන කාමරයන්ගෙන්ද සමන්විත වන බවත් සඳහන් වෙයි. මෙහිදී ISO 9001:2015, ISO 22000:2018, HACCP යන ඉහළ නිෂ්පාදන කාර්යයක් සඳහා වන ප්‍රමිතිගත සහතිකය සහ පරිසර හිතකාමී තත්ත්වය සහතිකයන්ට යටත්ව මෙම නිෂ්පාදන ක්‍රියාවලිය දියත් කරන බවත් සමාගම  පවසයි.

එසේම මෙම මධ්‍යස්ථානයේ පිහිටීම නිසා එහි නිෂ්පාදන දේශීයව සහ අන්තර්ජාතිකව බෙදා හැරීමේ වැදගත් ස්ථානයක් බවත්  ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් පවසයි.

“විශේෂයෙන්ම මෙම කර්මාන්ත සංකීර්ණය තේ ගැනුම්කරුවන්ගේ ගබඩාවලට සමීපව, අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ඉදිකිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් වරාය, ගුවන් තොටුපොල මෙන්ම රටේ වෙනත් ප්‍රදේශයන් වෙත ක්ෂණික ප්‍රවාහනය කිරීමේ පහසුව ලැබීම හේතුවෙන් දේශීය සහ අන්තර්ජාතික සිය නිෂ්පාදන බෙදාහැරීමේදි මෙය ව්‍යපාර ක්‍රමෝපායිකව ඉතා වැදගත් ස්ථානයක් වනු ඇත.” සමාගම පවසයි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් පාර්ශ්වකරුවන් ලෙස Access Engineering, Civil Structural Engineering Concultants (CSEC) සහ ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ජිනියරිං යන ආයතන ක්‍රියාත්මක කරයි. මෙහි ඇස්තමේන්තුගත පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 10කි. 2022 පළමු කාර්තුව තුළ වැඩි අවසන් කිරීම සැලසුම් වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා, “මෙම අවස්ථාව සමගින් ලාංකීය තේ ලෝකය තුළ ප්‍රවර්ධනය කිරීමට වගේම ගෝලීය ප්‍රමිතීන්ට සහ අවශ්‍යතාවන්ට අනුකූලව අපගේ කර්මාන්තය බලාත්මක කිරීමට වන කැපවීමද තහවුරු වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

ජෝර්ජ් ස්ටුවර්ට් ටීස් හි කළමනාකාර අධ්‍යක්ෂ ඩායි පද්මනාදන් මහතා අදහස් දක්වමින්, “මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් ජෝර්ජ් ස්ටුවර්ට් තේ වල ගුණාත්මක තත්ත්වය, ධාරිතාව වර්ධනය කිරීමට වගේම දේශීය මෙන්ම අන්තර්ජාතිකව අපගේ ගනුදෙනුකරුවන් හට කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 60