NDB බැංකුව රුපියල් බිලියන 8ක හිමිකම් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක්වන නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) බැංකුව සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 8ක අරමුදලක් සපයා ගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ සඳහා දැනටමත් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇතැයි පැවසෙයි.

ඒ අනුව මෙහිදී අලුතින් කොටස් මිලියන 106.7ක් (106,780,489ක්) නිකුත් කිරීම අපේක්ෂාව වී ඇත. එහිදී දැනට පවතින සෑම සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 61ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 28ක් ලැබෙන ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. කොටසක් රුපියල් 75 බැගින් නිකුත් කිරීම සිදු වෙන බවත් බැංකුව සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහිදී කිසිදු අකාරයක නිෂ්ඡන්ද කොටස් නිකුත් කිරීමක් සිදු නොවෙයි.

මෙම හිමිකම් නිකුත් කිරීමේ අවස්ථාව වනවිටත් බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 8.7ක් (8,794,333,011.44)ක් වන බව ද බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම නිකුතුව හරහා බැංකුවේ කොටස් පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීම, ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ බාසෙල් III නියාමනයන්ට අනුව ප්‍රාග්ධන අවශ්‍යතා දියුණු කරගැනීම මෙන්ම බැංකුවේ ණය කළඹ තවදුරටත් ඉහළ නැංවීම බලාපොරොත්තු වන බවත් බැංකුව පවසයි.

පෙරේදා දිනය වනවිට NDB බැංකුවේ කොටසක වටිනාකම  රුපියල් 83.40ක් බවට පත්ව තිබූ අතර ඊයේ දිනය වනවිට එය රුපියල් 76.20ක් දක්වා රුපියල් 7.20කින් එනම් 8.63෴කින් පහත වැටී තිබේ.

NDB බැංකුවේ  ප්‍රධාන කොටස්  හිමිකරුවන් තිදොනම වන්නේ ශ්‍රී ලංකා රජයයි. ඒ අනුව සමස්ත කොටස් අතරින් කොටස් 27,242,932 ක එනම් 11.7%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතී. එසේම කොටස් 23,263,710ක් 10.00%ක ප්‍රතිශතයක් සේවක අර්ථසාධක අරමුදල වෙත හිමි ව තිබේ. එසේම ශ්‍රී ලංකා රජය සතුව බැංකුවේ කොටස් 19,454,390ක් එනම් 8.36%ක් සතුව ඇත.

Visits: 236