සැප්තැම්බර් මාසයේදී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවැති 6.2% සිට සැප්තැම්බර් මාසයේදී 6.4% දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු වී තිබේ.

ඒ අනුව සැප්තැම්බර්ම මාසයේදී ආහාර කාණ්ඩයේ ප්‍රධාන වශයෙන් එළවලු, පොල් සහ ලොකු ළූණු මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබී ඇත. මීට අමතරව ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ හා ප්‍රවාහන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

එසේම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 අගෝස්තු මාසයේදී පැවැති 4.6% සිට 2020 සැප්තැම්බර් මාසයේදී 4.8% දක්වා ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව පවසයි. මීට අමතරව වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 අගෝස්තු මාසයේදී පැවැති 4.4% සිට 2020 සැප්තැම්බර් මාසයේදී 4.3% දක්වා පහළ බැස තිබේ.

Visits: 74