වටිනා සමාගම් කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජක උනන්දුව ඉහළට

අද දිනයේදී (ඔක්තෝබර් 22) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයත් සමගම ආයෝජකයන් තුළ කලබලකාරී ලෙස සිදු වූ කොටස් අලෙවිය නිසා ආරම්භයේදීම යම් කඩා වැටීමක් පෙන්නුම් කළ බව තැරැව්කාර සමාගම් පවසයි. රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පැවතීම මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කාරණා ඊට හේතු විය. එහෙත් මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික එලෙසින්ම පවත්වාගෙන යාමට ගත් තීරණය මෙන්ම වටිනා සමාගම් කොටස් මිලදී ගැනීම සඳහා වන ආයෝජක උනන්දුව ඉහළ යාමත් සමගින්ම කොටස් හුවමාරුව යළි ඉහළ යාමක් පෙන්නුම් කළ බව එම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,613.62ත් ඒකක 5,796.43ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,771.89 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 21) දිනයට සාපේක්ෂව එය ඒකක 87.22 ක් එනම් 1.53%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කිසිදු ගනුදෙනුවක් සිදු නොවූ බවත්, සමස්ත පිරිවැටුම සාමාන්‍ය ගනුදෙනු  හරහා පමණක් වාර්තා වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 158ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 29ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+8.21), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+6.22), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+5.83),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+4.40), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+4.23), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.33), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-2.19),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.88),  ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී JETS (-0.69)  සහ යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (-0.56යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,294.89 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 21) දිනයට සාපේක්ෂව ඒකක 7.29 ක එනම් 0.32%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.27ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 21දා) වාර්තා කළ රුපියල් බිලියන 3.25ට සාපේක්ෂව 30%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.51ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.88%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 59.73ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 110.50 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 50.8 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.38ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.77කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 23.6ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 530ක් සඳහා නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 446ක සහ රුපියල් මිලියන 380ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 278