මාතලේ ඩොලමයිට් නිධියේ ඩොලමයිට් ඉන්සි සිමෙන්ති සමාගමට අලෙවි කිරීමට එකඟතාව

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් මාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති ඩොලමයිට් නිධිය තුළින් ලබා ගන්නා ඩොලමයිට්, සිමෙන්ති නිෂ්පාදනය සඳහා පුත්තලමේ පිහිටි ඉන්සි සිමෙන්ති සමාගමට අලෙවි කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට පැමිණි බව එම සංස්ථාව පවසයි.

එහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා  ඉන්සි සිමෙන්ති සමාගම  අතර වූ එම ගිවිසුම අත්සන් තැබීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවී තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙනුවෙන් සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතා සහ ඉන්සි සිමෙන්ති සමාගම වෙනුවෙන් එහි සභාපති නන්දන ඒකනායක මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම්ගතවීම ඔස්සේ සෞභාග්‍යයේ දැක්ම යටතේ කුඩා කර්මාන්ත නගා සිටුවීම, අවම මුදලක් යටතේ දේශීය ජනතාවට සිමෙන්ති සැපයීමට හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මූල්‍යමය වාසියක් ලැබීම අපේක්ෂාව බව අගමැති කාර්යාලය පවසයි.

මීට අමතරව මාතලේ ප්‍රදේශයේ ජනතාවට රැකියා උත්පාදනයවීම හා රාජ්‍ය ඉදිකිරීම්වලට අදාළ සිමෙන්ති අඩු මිලට ලබා ගැනීමටද මෙමඟින් අවස්ථා උදා වන බව පැවසෙයි.

මාතලේ පිහිටි මෙම ඩොලමයිට් නිධිය ආශ්‍රිත නිෂ්පාදන පසුගිය ආණ්ඩුව විසින් 2015 වසරේ සිට සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබූ අතර නව රජය යටතේ නැවත එහි කටයුතු ආරම්භ වී තිබේ.

මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, අමාත්‍යංශ නිලධාරීන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති ඉංජිනේරු භාග්‍ය ජයතිලක මහතා හා ඉන්සි සිමෙන්ති සමාගමේ නියෝජිතයින් පිරිසක් එක්ව තිබේ.

Visits: 3441