මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාත එලෙසින්මයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් 4.50%ක් සහ 5.50%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කිරීමට ඊයේ (ඔක්තෝබර් 21දා) රැස් වූ සිය මුදල් මණ්ඩලය මගින් පියවර ගත් බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මේ හරහා දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව එලෙසින්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නොවූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳ පොළ ණය පොළී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ බවත්, වෙළෙඳ පොළ පොළී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි.

“ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික මෙන්ම මූල්‍ය වෙළෙඳ පොළ ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ උද්ධමනය 4%ත් 6%ත් පරාසය තුළ පවත්වා ගනිමින් ආර්ථිකය තිරසාර ඉහළ මූර්ත වර්ධන මාවතක් වෙතට කඩිනමින් යොමු කිරීම සහතික කිරීම සඳහා සුදුසු පියවර තවදුරටත් ගනු ඇත.” යනුවෙන් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 231