LOLC සමූහය සැම්බියාවේත් මෙහෙයුම් දියත් කරයි

ශ්‍රී ලංකාවේ එල්ඕඑල්සී (LOLC) සමූහය අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි සැම්බියාවේදීත් සිය මෙහෙයුම් දියත් කිරීමට කටයුතු යෙදූ බව පවසයි. ඒ අනුව එරට ලුසාකා නුවරදී LOLC Finance Zambia Limited ලෙස එම සමූහය සැම්බියාවේ සිය පළමු මූල්‍ය ආයතන ශාඛා කාර්යාලය පසුගියදා විවෘත කර තිබේ.

සමූහය සඳහන් කරන ආකාරයට මෙම සමාගම හරහා තැන්පතු භාර ගැනීම ඇතුළුව බැංකු නොවන මූල්‍ය ආයතනයක් හරහා සිදුවන සේවා සැපයීමට බලාපොරොත්තුව සිටියි. ඒ අනුව නිවාස ණය, මෝටර් රථ ෆිනෑන්ස් පහසුකම්, ව්‍යාපාරික ණය සහ පාරිභෝගික ණය යනාදී සේවා ඒ යටතට අයත් වෙයි. මේ හරහා සැම්බියාව තුළ දැනට පවතින මුදල් සේවාවන්හි අඩුපාඩුව පිරවීම අරමුණ බව එල්ඕඑල්සී සමූහය සඳහන් කරයි.

ලුසාකා කයිරෝ මාවතේ පිහිටි මෙම පළමු LOLC Finance Zambia Limited ශාඛාව විවෘත කිරීම, එරට බැංකු නොවන මූල්‍ය ආයතන ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ෆ්‍රෙඩා ටම්බා අතින් සිදුව තිබේ. ඉදිරියේදී සැම්බියාවේ කොපර්බෙල්ට් පළාතේ මෙන්ම වයඹදිග පළාතේද තවත් ශාඛා විවෘත කිරීමට සූදානමින් සිටින බවත් එල්ඕඑල්සී සමූහය අනාවරණය කරයි.

එම සමූහය සිය LOLC නාමය යටතේ විදේශීය මූල්‍ය මෙහෙයුම් සිදු කරන නව වැනි රට බවටත් LOLC සැම්බියා පත්ව තිබේ. දැනටමත් LOLC සමූහය කාම්බෝජියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, පාකිස්තානය, පිලිපීනය සහ නයිජීරියාව තුළත් සිය මෙහෙයුම් සිදු කරමින් සිටියි.

මේ අතරින් එල්ඕඑල්සී සමාගම අප්‍රිකාව වෙත පළමුවරට සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත්තේ 2019 වසරේදීය. එහිදී නයිජීරියාවේ පිහිටි ක්ෂුද්‍රමූල්‍ය බැංකුවක් අත්පත් කරගනිමින් එල්ඕඑල්සී එරට තුළ සිය මෙහෙයුම් අරඹා ඇත. මෙලෙස සැම්බියාව වෙත පිවිසීම හරහා ඉදිරියේදී අප්‍රිකාව තුළ වඩාත් සුවිශේෂී මුදල් ණයට ලබා දීමේ ආදර්ශයක් පිහිටුවීමට කටයුතු යොදන බවත්, එය දැනටමත් සිය සමූහය ආසියාව තුළ සිදු කරමින් සිටින ආකාරය හා සමාන අවස්ථාවක් බවත් එල්ඕඑල්සී සමූහය පවසයි.

ඒ අනුව ඉදිරි වසර කිහිපයේදී එල්ඕඑල්සී සමූහය අප්‍රිකානු කලාපය තුළ සිදු කරන සිය ව්‍යාප්තිය ඉහළ නැංවීමටද බලාපොරොත්තුව සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වන එල්ඕඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා, “සැම්බියාව කියන්නේ අපට අතිශය වැදගත් වෙළෙඳ පොළක්. ඒ වගේම එය අප්‍රිකාවේ වඩාත් වේගයෙන් දියුණුවෙමින් පවතින ආර්ථිකයක්. ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර පුළුල් කරගනිමින් ආර්ථික සංවර්ධනය දියුණු කිරීම සඳහා සුවිශේෂී අවස්ථා රැසක් එහි පවතිනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 323