සමාගම් 221ක කොටස් වටිනාකම් පහළ බසී

රට තුළ ස්ථාන රැසකින්ම නව කොරෝනා ආසාදිතයන් පිළිබඳව වාර්තාවීමත් සමගින්ම ආයෝජකයන් තුළ ඇති වු ආයෝජක විශ්වාසය පිළිබඳවූ බිඳ වැටීමත් සමගින්ම අද දිනයේදී අද (ඔක්තෝබර් 21) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,667.52 ත් ඒකක 5,937.09 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,684.67 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 20) දිනයට සාපේක්ෂව එය ඒකක 249.56 ක් එනම් -4.21%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව අද දිනයේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී, ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී සහ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී යන සමාගම් ගනුදෙනු දෛනික පිරිවැටුම සඳහා 6% ක දායකත්වයක් ලබා දී තිබේ.  

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 8ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 221ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (+0.97), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+0.78), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (+0.40),  පෙගාසුස් හොටෙල්ස් ඔෆ් සිලෝන් පීඑල්සී PEG (+0.17), සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී (ඡන්දහිමි) CHL.X (+0.15), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-10.30), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-9.52),  එක්ස්පෝ ශ්‍රී ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-8.98),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (-8.30)  සහ කොමර්ෂල් බැංකුව COMB (-7.32) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,287.60 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 20) දිනයට සාපේක්ෂව ඒකක 99.96 ක එනම් -4.19%ක පහළ වැටීමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 20දා) වාර්තා කළ රුපියල් බිලියන 2.26ට සාපේක්ෂව 44%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.47ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 13.22%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 85.81ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 252.1 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 166.3 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.33ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 16.90කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 147.82ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 622ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 19% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 607ක සහ රුපියල් මිලියන 488ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 243