රු.බි. 1.9ක සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හිමිකම් නිකුතුව නොවැම්බර් 09 දා?

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් ලබන නොවැම්බර් 09 වැනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත හිමිකම් නිකුත්වක් ඉදිරිපත් කිරීම සඳහා සූදානමින් සිටින බව පවසයි. එදිනට පැවැත්වෙන සිය විශේෂිත මහා සමුළුවට සමගාමීව මෙම නිකුතුව සිදු කරන බවත් සමාගම සඳහන් කරයි.

මෙම හිමිකම් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 1.9ක් වන අතර, නොවැම්බර් මාසය අවසන් වනවිට එම මුදල සමාගම වෙත සම්පාදනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබේ. පසුගිය ඔක්තෝබර් 15 වැනිදා මහ බැංකුව විසින් නිකුත් කරන ලද පුවත්පත් දැන්වීමට අදාළව තම සමාගමේ ප්‍රතිචාරයක් ලෙස මෙම නිකුතුව හැඳින්විය හැකි බවත්, කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සඳහන් කරයි.

එසේම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම පසුගියදා අබාන්ස් පීඑල්සී සමාගමේ කොටස් මිලදී ගනිමින් එම සමාගම සහ ඇති කරගැනීමට සූදානම්ව සිටින ඒකාබද්ධතාව සම්බන්ධයෙන්ද කරුණු සඳහන් කරයි. බැංකු නොවන මුදල් සාමගාම් සම්බන්ධයෙන් ඒවායේ නියාමකයා ලෙස මහ බැංකුව නිකුත් කළ නිර්දේශ සැපිරීම සඳහා මෙම කටයුතු සිදු වන බවත්, මෙම ගනුදෙනුවට අදාළ අනුමැතිය සඳහා මහ බැංකුව වෙත යවා ඇති බවත් පවසයි.

මෙලෙස සිදුවන ඒකාබද්ධවීම හරහා වඩාත් ශක්තිමත් සහ විශාල සමාගමක් බිහි වනු ඇති බවත්, එහි සමස්ත වත්කම රුපියල් බිලියන 32ක් ලෙස ඇස්තමේන්තු කළ  හැකි බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පවසයි. එසේම පාරිභෝගික තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 22ක් සහ පාරිභෝගිකයන්ට ලබා දී ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 26කි.

ඒ අනුව මෙම ඒකාබද්ධවීම මහ බැංකුව මගින් නිකුත් කර ඇති සමාගමේ ප්‍රාග්ධන ප්‍රමාණවත් බව සම්පූර්ණ කිරීමට දායකත්වය ලබා දෙනු ඇති බවත්, ඒ හරහා 2021 මාර්තු 31 වැනිදා වනවිට මෙම ඒකාබද්ධවිම හරහා සමාගම තුළ පවතින ප්‍රාග්ධන ස්ථාවරය රුපියල් බිලියන 4.9ක් වෙනු ඇති බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සඳහන් කරයි.

පෙර ලිපි
සොෆ්ට්ලොජික් කැපිටල් විසින් අබාන්ස් ෆිනෑන්ස් හි කොටස් 49.67%ක් මිලදී ගැනීමට යයි

Visits: 229