“මෙරට ආයෝජනයට දකුණු කොරියානුවන් දිරිගන්වන්න” – අගමැති ද. කොරියානු අගමැතිගෙන් ඉල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති චුන්ග් සයි-කියුන් මහතා අතර ඊයේ දිනයේ දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණු බව අගමැති  මාධ්‍ය අංශය පවසයි. මෙහිදී අගමැතිවරුන් දෙදෙනා දෙරට අතර අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී තිබේ.

ඒ අනුව අන්‍යෝන්‍ය අවබෝධය මත ද්විපාර්ශිකව උනන්දුවක් දක්වන අංශ ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ අගමැතිවරුන් දෙපළ, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ගැන විශ්වාසය පළ කළ බවත් අගමැති මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) දැනටමත්, සහයෝගීතාව ලබා දෙන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකයින් දෙපළ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

මේ අතර, කොවිඩ්-19 වසංගතය පාලනය වී ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ විගස, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා කොරියානු ආයෝජකයන් දිරිමත් කිරීමට සහාය ඉල්ලා සිටින බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

එසේම කොවිඩ් -19 තත්ත්වය පාලනය වූ වහාම, ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද අගමැති රාජපක්ෂ මහතා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතාට ආරාධනා කර තිබේ. දකුණු කොරියානු අගමැතිවරයා මීට පෙර කිසි දිනෙක ශ්‍රී ලංකාවට නොපැමිණි බව සඳහන් කරමින් මෙරට සංචාරය කිරීම සඳහා කැමැත්ත පළ කර තිබේ.

මීට අමතරව පසුගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති දකුණු කොරියානු අගමැතිවරයා, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික වශයෙන් සබඳතා තවදුරටත් ඉදිරියේදී ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ බවත් අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Visits: 61