ඉහළ ගිය වැවිලි සමාගම් වටිනාකම් පහළට

අද (ඔක්තෝබර් 20) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී යම් සාර්ථක ඉහළ යෑමක් පෙන්නුම් කළද ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ ලැබීමේ අවස්ථාවන් වෙත යොමුවීමත් සමගින්ම එය පහළ බැසීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ සමාගම් තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකි වී තිබේ.

මේ අතර ඊයේ (ඔක්තෝබර් 19) දිනයේදී වටිනාකම් ඉහළ යාමක් පෙන්නුම් කළ වැවිලි සමාගම් අංශය අද දිනයේදී යම් ආකාරයක වටිනාකම් පහත වැටීමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන්ම කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම  සහ බලංගොඩ ප්ලාන්ටේෂන්ස් යන සමාගම් ඊයේ දිනයේදී සිය කොටස් වටිනාකම් අසාමාන්‍ය ලෙස ඉහළ යාමට සිය මැදිහත්වීමක් සිදු නොකළ බවට නිකුත් කළ නිවේදන මේ සඳහා හේතු වූ බව එම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

කෙසේ වෙතත් දිනයේ අවසන් කොටසේදී ආයෝජකයන් අතර වැඩි කොටස් මිලදී ගැනීමක්  පෙන්නුම් කළ අතර, එහිදී වටිනා කොටස් මිලදී ගැනීමක් දැකගත හැකි වූ බවත් තැරැව්කාර සමාගම් පවසා සිටියි. කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ පවතින අවිශ්වාසය තවදුරටත් ආයෝජකයන් තුළ පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,905.88 ත් ඒකක 5,966.27 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,934.23 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 19) දිනයට සාපේක්ෂව එය ඒකක 11.85 ක් එනම් -0.20%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ගනුදෙනු දෛනික පිරිවැටුම සඳහා 17% ක දායකත්වයක් ලබා දී තිබේ. ඒ අතරින් හේමාස් හෝල්ඩිංග්ස් ගනුදෙනුව විදෙස් ආයෝජකයන් අතර සිදු  වීමත් විශේෂත්වයක් වූ බව තැරැව්කාර සමාගම් පවසයි.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 69ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 116ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+3.48), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.42), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+1.89),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.88), යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී UBC (+1.49), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.62), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.08),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.07),  කොමර්ෂල් බැංකුව COMB (-1.77)  සහ සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් පීඑල්සී GUAR (-1.66) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,387.56 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 19) දිනයට සාපේක්ෂව ඒකක 4.84 ක එනම් 0.20%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 19දා) වාර්තා කළ රුපියල් බිලියන 2.54ට සාපේක්ෂව 11%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.58ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.41%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 386.51ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 516.08 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 129.6 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.16ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 54.39කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 148.77ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 713ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 32% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ නිෂ්පාදන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 544ක සහ රුපියල් මිලියන 312ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 319