හැරීගේ Melsta Gama සිමෙන්ති ළගදීම වැඩ අරඹනවාලු

මෙල්ස්ටාකෝර්ප් පීල්සී සමාගම විසින් සිමෙන්ති ආනයනය, බහාලුම්ගත කිරිම සහ බෙදාහැරීම සඳහා Pyramid Gama සමාගම සමගින් 2018 වසරේදී ඇති කරගත් ඒකාබද්ධ හවුල්කාරීත්ව එකඟතාව සඳහා තවදුරටත් මුදල් ආයෝජනය කළ බව මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී හි සභාපති හැරී ජයවර්ධන මහතා පවසයි.

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ 2019/2020 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් සභාපතිවරයා මේ බව  පවසා තිබේ. ඒ අනුව Melsta Gama සමාගම යටතේ ඉතාමත් නුදුරේදීම රට තුළ සිමෙන්ති බහාලුම්ගත කිරීමේ කර්මාන්තය වෙත යොමු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

2018 වසරේ මැයි මාසයේදී මෙල්ස්ටාකෝර්ප් සමාගම සඳහා Pyramid Gama (පෞද්) සමාගම සමගින් ඇති කරගත් ඒකාබද්ධ එකඟතාවක් හරහා මෙලෙස සිමෙන්ති ආනයනය, සැකසීම, බහාලුම්ගත කිරීම සහ බෙදාහැරීම සඳහා කටයුතු යොදා තිබුණි.

මෙම පිරමිඩ් ගැමා සමාගම ශ්‍රී ලංකාවේ පිරමිඩ් හෝල්ඩිංග්ස් සමාගම සහ ඉන්දුනීසියාවේ ගැමා කෝපරේෂන් සමාගම අතර ඇති කරගත් හවුල්කාරීත්වයක් අනුව බිහි වූ සමාගමකි. පිරමිඩ් හෝල්ඩිංග්ස් සමාගම ලංකාව තුළ පාම් ඔයිල් ආනයනය කර බෙදා හරින ප්‍රකට සමාගමක් වන පිරමිඩ් විල්මාර් සමාගමේ මව් සමාගමද වෙයි.

රට තුළ ඉහළ යමින් පැවති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයත් සමගින්ම මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම මෙලෙස ඒකාබද්ධ හවුල්කාරීත්වයක් හරහා 2018 වසරේදී මෙරටට සිමෙන්ති ආනයනය කිරීමට තීරණය කර තිබුණි. එහිදී සමාගම Melsta Gama (පෞද්) සමාගම ලෙස සමාගමක් පිහිටුවීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 20කට ආසන්න ආයෝජනයක් සිදු කළ බවත් පැවසෙයි.

අංක 06, ෆ්ලවර් ටෙරස් මාවත, කොළඹ 7 මෙම Melsta Gama සමාගමේ ලිපිනය ලෙස සඳහන්ව ඇත. පසුගිය කාලසීමාවේදී මෙම සමාගම සඳහා අලුතින් පිරිස් බඳවා ගැනීමක් සිදු කෙරෙමින් පැවති අතර, එහි මෙහෙයුම් පිළිබඳව මෙතෙක් පැහැදිලිතාවක් නැත.

Visits: 658