සත්ත්ව එන්නත් සියල්ල මෙරටදී නිපදවීමට සැලසුමක්

පශු සම්පත් මණ්ඩලයේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක පොල්ගොල්ල සත්ත්ව විසානු රසායනාගාරය මගින් නිපදවනු ලබන සත්ත්ව එන්නත් ප්‍රමාණය වසරකට එන්නත් ලක්ෂ 10ක් දක්වා ඉහළ දමමින්, මෙරටට අවශ්‍ය සත්ත්ව එන්නත් සියල්ල මෙරටදීම නිපදවීමට සැලසුම් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද වනවිට වසරකට එන්නත් 250,000ක් නිපදවීමේ හැකියාවක් තිබෙන මෙම ආයතනය සංවර්ධනය කොට, මෙලෙස වසරකට එන්නත් ලක්ෂ 10ක් දක්වා නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කරන නවීන උපකරණ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එකඟත්වය පළ කළ බවත් සඳහන් වෙයි.

මෙමඟින් ආනයනය කරනු ලබන එන්නත් අඩුකර, අපනයනය ඉහළ දැමීමට සැලසුම් කිරීම අරමුණ වී තිබේ.

අමාත්‍යවරයා පසුගියදා මෙම රසායනාගාරයේ සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවක් අතරතුරදී මෙම එකඟතාව පළ කර ඇත. මෙරට සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරන ස්ථානයක් ලෙසටද මෙම පොල්ගොල්ල සත්ත්ව විෂාණු රසායනාගාරය සැලකෙයි.

එම ආයතනයේ දැනට භාවිත කරන පැරණි උපකරණ සහ උපාංග කඩිනමින් ඉවත් කර ඒ වෙනුවට නවීන උපකරණ ලබා දීමටත් මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව පැවසෙයි.

මෙම අවස්ථාව සඳහා පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ සත්ත්ව විෂාණු රසායනාගාරයේ නිළධාරීන්ද එක්ව සිට ඇත.

Visits: 55