වැවිලි අංශ‍යේ සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළට

අද (ඔක්තෝබර් 19) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිටම සමාගම් සියල්ලගේම පාහේ මිල වටිනාකම් සාර්ථක මට්ටමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. අනතුරුව ඇතැම් නිෂ්පාදන අංශයේ සමාගම්හි කොටස් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් අලෙවි කිරීමක්ද දක්නට ලැබුණි.

එසේම වැවිලි අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් කැපී  පෙනෙන ලෙස ඉහළ යාමක්ද පෙන්නුම් කර ඇත. එහිදී සමාගම් බොහෝමයකම වටිනාකම් 10%කට වඩා ප්‍රතිශතයකින් ඉහළ ගිය බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් කොවිඩ් -19 වසංගතය තවදුරටත් ආයෝජන විශ්වාස කෙරෙහි බලපෑම් ඇති කරවමින් තිබෙන බවත් ඔවුන් පවසයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,946.06 ත් ඒකක 5,987.66 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,946.08 ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) දිනයට සාපේක්ෂව එය ඒකක 0.29 ක් එනම් 0.00%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව සිදු කළ ගනුදෙනුවක් දෛනික පිරිවැටුම සඳහා 1% ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 93ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.27), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.69), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.49),  ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+2.35), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+1.87),  ඩිස්ටිලර්ස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.23), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-4.02),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.3),  හේලීස් පීඑල්සී HAYL (-2.76)  සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.21) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,382.72 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) දිනයට සාපේක්ෂව ඒකක 12.29 ක එනම් 0.52%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.54ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක් 16දා) වාර්තා කළ රුපියල් බිලියන 3.6ට සාපේක්ෂව 30%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.59ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.23%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 35.32ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 196.36 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 161 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.03ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් පවර් එරත්න පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.23කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 57.67ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 437ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 19% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 468ක සහ රුපියල් මිලියන 462ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 248