“බලපත්‍ර ලාභී මුදල් සමාගමක තැන්පතු පිළිබඳව සහතිකවීමට නෛතික බලයක් අපට නැහැ” – මහ බැංකුව

බලපත්‍රලාභී මුදල් සමාගමක තැන්පතු පිළිබඳව සහතිකවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සැප්තැම්බර් 30 වැනි දිනට මහ බැංකුවේ ලියාංපදිංචි, මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සඳහා අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් සියලුම තැන්පතු වගකීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ රක්ෂණය කළ යුතුව ඇතැයි මහ බැංකුව අවධාරණය කර සිටියි.

එහිදී වර්තමානයේදී බලපත්‍රය අත්හිටුවීම/අවලංගු කරන ලද මුදල් සමාගමක එක් තැන්පත්කරුවෙකු / එක් ආයතනයක් වෙත උපරිමය රුපියල් ලක්ෂ 6ක් දක්වා තැන්පතු ගෙවීම සිදු කරන බවද මහ බැංකුව පවසයි.

“මුදල් සමාගමක බලපත්‍රය අවලංගු කිරීමකදී තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ වන්දි ගෙවීම සිදු කරනු ලබන්නේ තැන්පතු සඳහා පමණක් වන අතර අනෙකුත් මුදල් ලබා ගැනීමේ උපකරණ සඳහා ගෙවීම් සිදු කිරීම ආවරණය නොවේ.” මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම්, තම සමාගමේ මූලික මූල්‍ය තොරතුරු / දර්ශකයන් මහජනතාවට නිවැරදි ආයෝජන තීරණ ගැනීමට පහසුවීම සඳහා සෑම හය මසකට වරක්ම පුවත්පත් වල පළ කිරීම අනිවාර්යය වන බවත් මහ බැංකුව පවසයි.

එසේම තැන්පතු ඇතුළුව සිදු කරනු ලබන ඕනෑම ආයෝජනයක අවදානම ඒවායේ ප්‍රතිලාභ සමග ධනාත්මක ලෙස සම්බන්ධ වන බැවින් ඒ පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු වීම වැදගත් බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව ඉහත කරුණු පිළිබඳ සැලකිලිමත් වෙමින්, තමන් විසින් තැන්පත් කරනු ලබන අරමුදල්වන සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනවසර ආයතනවල/පුද්ගලයන් සමග අරමුදල් තැන්පත් කිරීමෙන් වලකින ලෙසද මහ බැංකුව ජනතාවට අවවාද කර සිටියි.

මෙහිදී මහ බැංකුව සඳහන් කරන ආකාරයට බලපත්‍ර ලාභී මූදල් සමාගම් 38ක් අද වනවිට මෙරට ක්‍රියාත්මක වෙයි. 01. අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී, 02. අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්, 03. ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, 04. ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පිඑල්සී, 05. එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, 06. එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, 07. එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී, 08. එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී, 09 . එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, 10. ඒ.එම්.ඩබ්ලිව්. කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 11. ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී, 12. ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී, 13. කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්, 14. කොමර්ෂල් ක්‍රෙඩි‍ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 15. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 16. ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී, 17. ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී, 18. නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී, 19. ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී, 20. ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී, 21. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 22. පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, 23. බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී, 24. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 25. මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 26. මල්ටි ෆිනෑන්ස් පීඑල්සී, 27. යූබී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ්, 28. රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්, 29. ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ්, 30. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී, 31. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්, 32. සෙංකඩගල ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, 33. සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් ලිමිටඩ්, 34. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, 35. සිංගර් ෆිනෑන්ස් පීඑල්සී, 36. සියපත ෆිනෑන්ස් පීඑල්සී, 37. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සහ 38. ෆින්ට්‍රෙක් ෆිනෑන්ස් ලිමිටඩ් එම සමාගම් වෙයි.

Visits: 317