කිඹුලාවල ගොඩනැගිල්ලේ පාලනය Water’s Edge Ltd. වෙත පවරා දීලා

පාර්ලිමේන්තු පාරට ආසන්නව කිඹුලාවල හන්දියේ ඉදිකර ඇති ගොඩනැගිල්ල කළමණාකරනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් 100% උප සමාගමක් වන Water’s Edge Ltd. ආයතනය වෙත පවරා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මෙම ඉදිකිරීම සීමාමාලකයක් ලෙස හඳුන්වාදෙමින් එය අද වනවිට බේකරියක් සඳහා විකුණා ඇති බවට පළ වන අසත්‍ය සමාජ මාධ්‍ය වාර්තා නිවැරදි කිරීමක් ලෙස එම අධිකාරිය මේ කරුණු සඳහන් කර සිටියි.

එහිදී මෙම ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත රුපියල් ලක්ෂ දහයක් පමණ වැය කර ඇති බවත්, කිසිදු විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලාගෙන් සිදු වුණු ඉල්ලීමකින් හෝ අවශ්‍යතාවකින් තොරව ඉදිකරවූවක් බවත් එය කිසි ලෙසකින්වත් සීමාමාලකයක් ලෙස හෝ බෞද්ධ පුස්තකාලයක් ලෙස හෝ යොදා ගැනීමට සුදුසු නොවන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

එම කරුණු සඳහන් කිරීමමෙසේය. “මෙහි සඳහන් වන ගොඩනැගිල්ල පසුගිය පාලන සමයේ අමාත්‍යාංශය භාර හිටපු ඇමතිවරයාගේ උපදෙස් මත ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් සැලසුම් නිර්මාණ කොට ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘතියකි. ඉදිකිරීම සඳහා මුල් අවස්ථාවේ පෞද්ගලික සමාගමකින් ධන පරිත්‍යාගයක් ලබාගෙන තිබුනි. කිසිදු විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් හෝ අවශ්‍යතාවක් නොමැතිව අසාර්ථක සැලැස්මක් මත ඉදිවූ මෙම ගොඩනැගිල්ල වැඩිකලක් ගතවන්නට පෙර කිඹුලාවල ඇලේ ගිලා බැසීමට ලක්වන්නට විය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් සිදු වූ අතර, ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කරනා ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට වෙත පවරණ ලදී. එම ආයතනය විසින් ලක්ෂ 125කට වැඩි මුදලක් පිරිවැය දරමින් ගල් පුරවා මෙම ඇළෙහි ගිලුණු ගොඩනැගිල්ල නැවත ගොඩගනු ලැබුවේය. එසේම නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා රු. ලක්ෂ 10ට වැඩි මුදලක් වියදම් කර ඇත.

නමුත් මෙම ගොඩනැගිල්ල සීමා මාලකයක් සදහා කිසිදු ආකාරයකින් අනුමත කළ නොහැකි නිසාත් සීමාමාලකයට තියෙන අවශ්‍යතා සපුරා නොමැති බැවින් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ගෙන් ලැබුණු විරෝධතාවය මතත් එම ව්‍යාපෘතිය නවතා තැබීමට සිදු විය.

මේ අනුව ගොඩනැගිල්ල දිගටම ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ පැවතුනි. පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයකදී වෙනත් ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේලා වැඩම කොට දානයක් පිළිගන්වා බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කලද, පටන් ගත් දවසේ සිට අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් තුල කිසිදු පාඨකයකු මෙහි පොත්පත් පරිශීලනය කර නොමැති වූ අතර එහි පොත්පත් කිහිපයක් පමනක් තැන්පත් කර තිබූ ස්ථානයකි.

විවිධ ශබ්ද ඝෝෂා ඇති ජනාකීර්ණ ස්ථානයක පිහිටා ඇති මෙම විවෘත ගොඩනැගිල්ලේ පිහිටීම අනුව පුස්තකාලයක පාඨකයන්ට අවශ්‍ය ජලය, වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සහ කැලිකසල බැහැර කිරීම වැනි කිසිදු පහසුකමක් ලබාදී නොතිබිනි. එහි ඉදිකළ දා සිට අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරා කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නා මෙම ගොඩනැගිල්ල නඩත්තුව, සේවකයන් හා ආරක්ෂක‍යන් යෙදවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට භාරවූ අතර ඒ සඳහා මෙම අධිකාරියට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බැවින් මෙය ආර්ථික හා ජාතික වශයෙන් වැදගත් වන මහජනතාවට වඩා ඵලදායී ව්‍යාපෘතියකට යෙදවීම සඳහා අරමුණු කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ගොඩනැගිල්ලේ තැන්පත් කර තිබූ පොත්පත් අවට විහාරස්ථානවලට ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව වර්තමානයේ මෙම ස්ථානය කළමණාකරනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් 100% උප සමාගමක් වන Water’s Edge Ltd. ආයතනය වෙත පවරා ඇත.”

Visits: 231