ලාෆ්ස් ගෑස් පීඑල්සී කලාපීය LPG ගෑස් පර්යන්තයක් පිහිටුවීමට යයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම ඉන්දියානු සාගර වළල්ලේ පිහිටි සිය පාරිභෝගිකයන් වෙත අවශ්‍ය LPG ගෑස් සැපයීම සඳහා LPG ගෑස් ආනයනය කිරීම සහ ප්‍රතිඅපනයනය කළ හැකි කලාපීය LPG පර්යන්තයක් පිහිටුවීම සඳහා කටයුතු කරන බව පවසා සිටියි.

පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු එම සමාගමේ 2019/2020 වාර්ෂික වාර්තාව තුළ ඇතුළත් මේ කරුණු සම්බන්ධයෙන් අද පළ වූ ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සභාපති ඩබ්ලිව්.එච්.කේ වෑගපිටිය මහතා වැඩිදුරටත් මේ අදහස් දක්වා තිබේ.

“අපේ දොරකඩ ඉදිරිපිට ඉතා විශාල වෙළෙඳ පොළක් අපිට තිබෙනවා. අපි එය සොයා යා යුතුයි.” ඒ අනුව ශ්‍රී ලංකාව අවට ඇති බංග්ලාදේශය, ඉන්දියාව සහ මාලදිවයින වෙත මෙම පර්යන්තය හරහා LPG ගෑස් බෙදාහැරීම එම සමාගමේ අරමුණ වී තිබේ.

ලාෆ්ස් ගෑස් සමාගම දැනටමත් හම්බන්තොට වරාය තුළ මෙට්‍රික් ටොන් 30,000ක LPG ගෑස් ගබඩා පරිශ්‍රයක් පවත්වාගෙන යයි. එහි මෙහෙයුම් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි. එය හම්බන්තොට වරාය ජැටියේ සිට කිලෝටමීටර් 3ක් දුරින් පිහිටා ඇති අතර නල මාර්ග හරහා එය සම්බන්ධ කෙරී ඇත. එම නළ මාර්ග හරහා ශීතකරණය කෙරුණු ප්‍රොපේන් සහ බියුටේන්  එකිනෙකට මිශ්‍ර නොකර හෝ එකිනෙකට මිශ්‍ර කර රැගෙන විත් ගබඩා කිරීමේ හැකියාව පවතී.

එසේම මෙම පරිශ්‍රයේ දෛනික ගබඩා පහසුකම තුන් ගුණයක් බවට පත් කිරීමේ හැකියාව පවතින බවත්, ඒ හරහා මාසිකව LPG ගෑස් මෙට්‍රික් ටොන් 90,000ක් ගබඩා කිරීමේ හැකියාව පවතින බවත් සමාගම පවසයි.

මීට අමතරව ලාෆ්ස් ගෑස් පීඑල්සී සතුව දැනටමත් LPG ගෑස් ප්‍රවාහනය කෙරෙන නෞකා තුනක් ඇති බවත්, තවත් එක් නෞකාවක් ඉදිරියේදී මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටින බවත් සඳහන් කරයි.

ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) සමාගම 2001 වසරේදී බංග්ලාදේශ වෙළෙඳ පොළ වෙත පිවිසුණු අතර, අද වනවිට එරට ප්‍රධාන LPG ගෑස් බෙදාහරින්නා බවටත් එම සමාගම පත්ව සිටියි. එහිදී සෑම වසරකදීම එම සමාගම මෙට්‍රික් ටොන් 50,000ක LPG ගෑස් ආනයනය සහ බෙදාහැරීම සිදු කරයි. සමාගමේ පර්යන්තය බංග්ලාදේශයේ මොන්ග්ලාහිදී පිහිටා තිබේ. හම්බන්තොට පිහිටි සිය ගබඩාව මෙලෙස බංග්ලාදේශය වෙත LPG ගෑස් රැගෙන යාම සඳහා යොදා ගන්නා බවද ලාෆ්ස් ගෑස් පීඑල්සී සඳහන් කරයි.

බංග්ලාදේශයට අමතරව මියන්මාරය වෙතද ලාෆ්ස් ගෑස් සමාගම සිය LPG ගෑස් සැපයීම සිදු කරන බවත්, ඉදිරියේදී නැගෙනහිර අප්‍රිකාවේ සිට කෙන්යාව වෙතත් මෙම සැපයුම් පුළුල් කිරීම සැලසුම වී ඇති බවත් වෑගපිටිය මහතා මෙහිදී පවසා සිටියි.

“කෙන්යාවේ මොම්බාසා නුවර තමයි නැගෙනහිර අප්‍රිකාවේ තිබෙන භූමියෙන් වට වූ අනෙකුත් රාජ්‍යයන් වෙතත් අපට පිවිසෙන්න තියෙන හොඳම මාර්ගය. ඒ අනුව අපි කෙන්යාවේ මොම්බාසාහිදී අපගේ පර්යන්තයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පුවත්පත වෙත සඳහන් කර තිබේ.

Visits: 384