UB Finance හිමිකම් නිකුතුවකින් රුපියල් බිලියන 1.6ක් රැස් කරගැනීමට යයි

යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක පරිපාලිත මූල්‍ය සමාගම වන UB Finance පෞද්ගලික සමාගම හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 1.6ක මුදලක් රැස් කරගැනීමට තීරණය කර ඇතැයි පවසයි.

සමාගමේ ශේෂ පත්‍රය ශක්තිමත් කරගැනීම සඳහා මෙන්ම මහ බැංකුව මගින් මූල්‍ය සමාගම් වෙත ලබා දී ඇති 2020 දෙසැම්බර් 30 වැනිදාට පෙර සපුරාගත යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි.

“2011 වසරේදී යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී සමාගම මගින් සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව එය රටෙහි මුල් පෙළේ මූල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස වඩාත් ශක්තිමත්ව ගොඩනැගීමක් සිදු වුණා. කොවිඩ්-19 වසංගතය නිසා මූල්‍ය සමාගම් ක්ෂේත්‍රය වෙත එල්ල වූ අයහපත් බලපෑම මඟහරවමින් අනාගතයේදී ශ්‍රී ලංකාව වඩාත් සාර්ථක ආර්ථයක් බවට පත්වේවි.” සමාගම පවසයි.

එහිදී ශ්‍රී ලංකාව නවෝත්පාදන නිෂ්පාදන සහ තාක්ෂණික වේදිකාවන් සමගින් වාණිජ, මූල්‍ය සහ නෞකා ගමනාගමනයේ කේන්ද්‍රස්තානයක් බවට පත්වෙනු ඇති බවත්,  ඒ හරහා ආර්ථික වර්ධනය වෙත දායකත්වයක් ලබා දෙනු ඇති බවත් සමාගමේ කළමනාකාරීත්වය ශූභවාදී ආකල්පයෙන් සිටින බවත් UB Finance පෞද්ගලික සමාගම  සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය කටයුතු සිදු කරන සමාගම් අතරින් කීර්තිනාමයක් දිනා ඇති යුනියන් බැංකුවට අයත් සමාගමක් වන UB Finance ආයතනය රුපියල් බිලියන 11කට ආසන්න වත්කම්  හිමි මූල්‍ය සමාගමක් බව පවසයි.  දිවයින පුරා ශාඛා 17ක සේවයේ නියුතු 260ක පිරිසක් ඔවුන් සතුව සිටින බව පවසයි.

Visits: 260