ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඉන්දීය ආයෝජකයන් දිරිගන්වන්න – අගමැති ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ඉල්ලයි

මෙරට ඖෂධ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ සොයා බලා මෙරට තුළ ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ පහසුකම් ඇති කිරීමට ඉන්දීය අයෝජකයන් දිරිමත් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළ බව අගමැති කාර්යාලය පවසයි.

පෙරේදා දිනයේ අරලියගහ මහන්දිරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා හා පැවැති සාකච්ඡාවක් අතරතුරදී අගමැතිවරයා මේ අදහස් දක්වා තිබේ.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගිතාව ඇති කරගත හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ බව අගමැති කාර්යාලය පවසයි.

එසේම පසුගිය මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අන්තර්ජාලය ඔස්සේ පැවැති සමුළුව පිළිබඳව පසුවිපරමක් වූ බවද පැවසෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අගමැතිවරයා, සැමට සුරක්ෂිත පානීය ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතු ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බව මහකොමසාරිස්වරයා වෙත පෙන්වා දී ඇත.

ඒ අනුව පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා, වැසි ජලය එක්රැස් කිරීම, දුෂ්කර ජීවන තත්ත්වයන් පවතින ප්‍රදේශවල වැසිකිළි තනාදීම සහ අපද්‍රව්‍ය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළුව දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙහිදී අවධානය යොමු කළ බව පැවසෙයි.

එහිදී සෑම නිවසකටම පානීය ජලය සැපයීම අරමුණු කරගත් ඉන්දීය රජයේ වැඩපිළිවෙළ වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “ජාල් ජීවන් මෙහෙවර – Jal Jeevan Mission” (ජීවිතය උදෙසා ජලය – Water for Life Mission) වැඩසටහන සමඟ දෙරට අතර ද්විපාර්ශවීය සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති බව මහ කොමසාරිස් බාග්ලේ  මැතිතුමා මෙහිදී විශ්වාසය පළ කර ඇත.

මේ අතර, නිදන්ගත වකුගඩු රෝග පිළියම් යෙදීම ඇතුළුව රටේ ඇතැම් ප්‍රදේශවල පවතින සුරක්ෂිත පානීය ජලය නොමැතිකම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවධානය යොමු වී තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පානීය ජලය නොමැතිකම බරපතළ ගැටළුවක් බව පෙන්වා දී ඇති අගමැතිවරයා ඒ සඳහා ලබා දිය හැකි සහය පිළිබඳව සොයා බලන ලෙසද මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා වෙත දැනුම් දී ඇත.

Visits: 96