“රජය පියවරක් නොගත්තොත් 100% ක් පොල් අරක්කු නැතිවේවි” – DCSL සභාපති හැරී ජයවර්ධන

අද වනවිට මෙරට පොල් අරක්කු නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කරන කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් සහ පොල් අරක්කු සම්බන්ධයෙන් පවතින අසාධාරණ මිල යාන්ත්‍රණය හේතුවෙන් දෛනිකව අලෙවි වන පොල් අරක්කු පරිමාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව මෙරට මුල් පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සීහි සභාපති හැරී ජයවර්ධන මහතා පවසයි.

2019/2020 වසර සඳහා එම සමාගමේ වන වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.

“අද පවතින මේ බදු ක්‍රමය නිසා 100%ක් පොල් ආශ්‍රිත අරක්කු පරිභෝජනය කරන්න අපගේ පාරිභෝගිකයන්ට නොහැකි වෙලා තියෙනවා. රජය විදියට මේ දේ ගැන කල්පනාකාරීව බැලිය යුතු වෙනවා. ඒ හරහා මේ මිල ගණන් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ ඔස්‍සේ පාරිභෝගිකයන් පොල් නිෂ්පාදන වෙත යොමු කරගැනීමේ හැකියාව පවතිනවා.” ඒ මහතා පවසයි.

“රජය විදියට මේ සම්බන්ධයෙන් ඉක්මණින් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් වෙළෙඳ පොළින් සැබෑ පොල් අරක්කු නැති වෙලාම යන්න පුළුවන්.” ජයවර්ධන මහතා අනතුරු අඟවයි.

එසේම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සිල්ලර අලෙවි බලපත්‍ර ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවත්, එම ක්‍රමවේදය හරහා ලැබෙන ලිහිල් බවෙන් හොර මත්පැන් වෙළෙන්දන්ට සිය නීතිවිරෝධී නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ඒකාධිකාරයක් නිර්මාණය වන බවත් ඔහු පවසයි.

“මේ මත්පැන් හල් නීත්‍යානුකූල මත්පැන් සමගින්  නීතිවිරෝධී මත්පැනුත් අලෙවි කරනවා. ඒ නිසා මේ කටයුතු දැන්වත් නැවැත්විය යුතුයි. 1991 දී අපි මේ සමාගමේ කළමනාකරණය භාරගත්දා සිට පාරිභෝගිකයන්ට දුන්නේ හොඳ නිෂ්පාදන විතරයි. අපි රජයේ සියලුම නියාමන පිළිපද්නවා. සෑම බද්දක්ම, සෑම සුරා බද්දක්ම ගෙවනවා. මේ අසාධාරණ වේදිකාව තුළ සිදුවන කටයුතු  හරහා හානි වෙන්නේ පහළ මට්ටමේ සිටින පාරිභෝගිකයාටයි.”

ඒ අනුව නීත්‍යානුකූල මත්පැන් අලෙවි කිරීම සහ පරිභෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම පාරිභෝගිකයා මෙන්ම රටටත් ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවක් බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

“රජය හැමතිස්සේම බොරුවට අඩනවා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායම අඩුයි කියලා. හැබැයි මේ නීතිවිරෝධී තත්ත්වය පාලනය කරන්න ඔවුන්ට පුලුවන් වුණොත් මේ කර්මාන්තය හරහා වඩා වැඩි ආදායමක් උපයා ගන්න රජයට හැකි වේවි.” ඔහු පවසා සිටියි.

Visits: 1699