ශ්‍රී ලංකාව තුළ ආයෝජනයේදී ඇති ආයතනික සහ නීතිමය බාධාවන් ඉවත් කර දෙන්න – පාකිස්ථාන මහ කොමසාරිස් ඉල්ලයි

මෙරට තුළ ආයෝජන කිරීමේ දී ආයතනික සහ නීතිමය බාධාවන් පවතින බවත්, එවැනි බාධාවන් ඉවත් කර දීමේ හැකියාවක් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතාට තිබෙන බවට තම විශ්වාස කරන බව පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඩ් සාද් කතක් මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කර තිබේ.

විශේෂයෙන්ම දෙරටටම වාසිදායක වන ලෙස පේෂකර්ම, සිමෙන්ති, සීනි, ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහිදී පවසා ඇත.

ඊට පිළිතුරු දී ඇති ඇමති විමල් වීරවංශ මහතා එවැනි බාධාවන් පැවතීම පිළිබඳව තමන් කනගාටු වන බව සඳහන් කර ඇත. ඒවා ජය ගනිමින්, පිළියම් යෙදිය හැකි බැවින් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන්ද සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව පවසා තිබේ.

විශේෂයෙන්ම දෙරට අතර වාර්ෂිකව ඩොලර් බිලියන 01ක ආනයන – අපනයන වෙළඳාමක් සිදු කළ හැකිව තිබිය දී සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදු කෙරෙනුයේ ඩොලර් මිලියන 450ත් – 500ත් අතර වෙළඳාමක් බවත් මහ කොමසාරිස්වරයා පවසා තිබේ. එය දෙරටටම වාසිදායක වන සේ ඉහත අගය දක්වා වැඩි කර ගත හැකි බවත් ඔහු සඳහන් කර ඇත.

මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබු බකර් ෆහඩ්, වෙළඳ හා ආයෝජන අංශයේ ප්‍රධානී, අස්මා කාමල් යන මහත්මීහු සහ අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරුද එක්ව ඇත.

Visits: 151