මූල්‍ය සමාගම්හි ඉදිරි පැවැත්මට 2021 වනවිට රු. බිලියන 20ක් අවශ්‍යයි – ෆර්ස්ට් කැපිටල් රිසර්ච්

ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් පවත්වාගෙන යාමට නම් වසර 2021 වන විට එම ක්ෂේත්‍රය තුළ රුපියල් බිලියන 20ක ප්‍රාග්ධන අවශ්‍යතාවක් සපුරා ගැනීම අනිවාර්යය වී ඇතැයි මෙරට මුල් පෙළේ ආයෝජන පර්යේෂණ ආයතනයක් වන ෆර්ස්ට් කැපිටල් රිසර්ච් සමාගම සඳහන් කරයි.

2021 මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තුවක්  ඉදිරිපත් කරමින් ඔවුන් විසින් සකස් කරන ලද “All Doom & Gloom for NBFIs” නම් වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගයට අනුව 2021.12.31 වන විට ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් තමන් සතු මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.5ක පවත්වාගෙන යා යුතුවීමත් සමගින්ම මේ තත්ත්වය උදා වී තිබේ. ඒ අනුව එම කාලය වනවිට මෙම මූල්‍ය සමාගම් විසින් සපුරා ගත යුතු ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 20කට ආසන්න වෙනු ඇතැයි ෆර්ස්ට් කැපිටල් රිසර්ච් පෙන්වා දෙයි.

මෙහිදී ඔවුන් එම කාලසීමාව වනවිට සිය මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කරගත  හැකි බැංකු නොවන මූල්‍ය සමාගම් මෙන්ම එලෙස සිදු කළ නොහැකි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන මූල්‍ය සමාගම් පිළිබඳ වගුවක්ද ඉදිරිපත් කර සිටියි. එහිදී දැනට පවතින ඇස්තමේන්තුගත මූලික ප්‍රාග්ධනය අනුව සමාගම් 15ක් ආරක්ෂිත කලාපයේ පසුවන අතර සමාගම් 16ක් රතු (අනාරක්ෂිත) කලාපයේ  පසුවෙයි.

එහිදී සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, පීපල්ස් ලීසිං ඇන්ඩ් කම්පැනි පීඑල්සී, එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, එල්බී ෆිනෑන්ස් පීඑල්සී, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී, වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී, සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී, ආලියාන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, සියපත ෆිනෑන්ස් පීඑල්සී, එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී සහ ඒ.එම්.ඩබ්ලිව්. කැපිටල්  ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් ආරක්ෂිත කලාපයේ පසුවෙයි.

එසේම එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී, ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී, සිංහපුත්‍ර ෆිනෑන්ස්  පීඑල්සී, ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී, ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී, අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී, ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී, ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, මර්චන්ඩ් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, මල්ටි ෆිනෑන්ස් පීඑල්සි සහ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී අනාරක්ෂිත කලාපයේ පසුවෙයි.

ඒ අනුව ආරක්ෂිත කලාපයේ  පසුවන බැංකු නොවන මූල්‍ය සමාගම් සතුව රුපියල් බිලියන 2.9 සිට 47.5  ක් දක්වා වූ මූලික ප්‍රාග්ධනයන් පවතී. එහිදී ඔවුන් සතු සමස්ත ප්‍රාග්ධනය රුපියල් බිලියන 236.3 කි. එසේම අනාරක්ෂිත කලාපයේ පසුවන මූල්‍ය සමාගම් සතුව පවතින්නේ රුපියල් බිලියන -0.1 සිට රුපියල් බිලියන 2.3ක් දක්වා වූ මූලික ප්‍රාග්ධනයකි. ඒ අනුව මෙම සමාගම් වෙත තමන් සතු මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.5ක් බවට පත් කරගැනීමට නම් රුපියල් බිලියන 20ක මුදලක් එකතු කරගත යුතුව ඇත. එසේම අද වනවිට එම සමාගම් සතු සමස්ත ප්‍රාග්ධනයද රුපියල් බිලියන 20 කට ආසන්න වෙයි.

එසේම 2020 දෙසැම්බර් මාසය වනවිට මෙම මූල්‍ය සමාගම් තුළ මූලික  ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.0 ක් බවට පත්විය යුතු යැයි මහ බැංකුව මගින් නිර්දේශ කර තිබේ. ඒ අනුව මේ වසර අවසන් වනවිට එම අවශ්‍යතාව සපුරා නැති සමාගම් විසින් තවත් රුපියල් බිලියන 11.1ක මුදලක් ඒ සඳහා එකතු කරගත යුතුව ඇතැයිද ෆර්ස්ට් කැපිටල් රිසර්ච් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙරාතුව එම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කරගත යුතු සමාගම් 13ක් පවතින අතර සමාගම් හතරක් එහි පර්යන්ත සීමාවේ පවතී.

Visits: 1097