පැරණි CTB බස් රථ ත්‍රිකුණාමල මුහුදේ ගිල්වයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ගොඩ ගැසී ඇති භාවිතයට ගත නොහැකි බස් රථ සහ බස් රථ කොටස් ප්‍රමාණයක් පසුගියදා ත්‍රිකුණාමල මුහුදේ ගිල්වීම සිදු කළ බව එම මණ්ඩලය පවසයි.

ධීවර වරාය නීතිගත සංස්ථාව සහ නාවික හමුදාව එක්ව ධීවර වරාය සතු සයුර නෞකාව මගින් මෙම බස් රථ මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදුකර තිබේ.  මේ සඳහා අවශ්‍ය බස් රථ ධීවර දෙපාර්තමේන්තුව මගින් මුදල් ගෙවා ලබා ගෙන ඇතැයි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ  හීන වී යන මත්ස්‍ය සම්පත බෝ කිරීම වැඩි කර ධීවර කර්මාන්තය දියුණු කිරීම මූලික අරමුණ කරගනිමින් මෙම කටයුතු සිදු කෙරෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරයි.

එසේම කිමිදුම් සංචාරක කර්මාන්තය දියුණු කර විසිතුරු මත්ස්‍ය බෝ කිරීමේ කටයුතු සහ සංචාරක කටයුතු දියුණු කිරීමටද මෙම බස් රථ යොදා ගත  හැකි බව පවසයි.

මීට අමතරව මුහුදු සීමා උල්ලංගණය කරමින් පැමිණෙන අනවසර ධීවර යාත්‍රා සහ බොටම් ලයින් ට්‍රෝලින් වැනි තහනම් ධීවර ක්‍රමවේද නැවත්වීමද මෙම කටයුත්තේ තවත් අරමුණක් බව සඳහන් වෙයි.

ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් ඇරඹුණු මෙම කටයුත්ත, මූලික අදියර වන බවත්, ඉදිරියේදී මෙවැනි ස්ථාන 200ක් තුළ අබලන් බස් රථ තැන්පත් කිරීම සිදු කෙරෙන බවත් ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 240