කොවිඩ්-19 නිසා ලොව බිලියනපතියන් තවත් බිලියනපතියන් වෙලාලු

නව කොරෝනා (කොවිඩ්-19) වසංගතයේ බලපෑමත් සමගින්ම ලොව බිලියනපතියන් තවත් බිලියනපතියන් බවට පත්වීමේ අවස්ථාවක් උදා වී ඇතැයි වාර්තා වෙයි. අදාළ බිලියනපතියන් සතු සමාගම්වල කොටස් වටිනාකම් නව කොරෝනාවත් සමගම ආසන්න කාලසීමාවේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාම මෙලෙස වත්කම් ඉහළ යාමට හේතු වී තිබේ.

ඒ අනුව නව කොරෝනාවෙන් ලොව ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමක් පෙන්නුම් කළත්, අද වනවිට මෙම තත්ත්වය බිලියනපතියන්, ට්‍රිලියනපතියන් බවට පත් කරන අවස්ථාවක් උදා වී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරයි. එහෙත් මිලියනපතියන් බිලියනපතියන් වීමේ අවස්ථාවක් මේ හරහා උදා වී නොමැති බවත් සඳහන් වෙයි.

ජාත්‍යන්තර විගණන ආයතනයක් වන ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් සහ ස්විස්ටර්ලන්තයේ UBC බැංකුව එක්ව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව පසුගිය සතියේදී මේ කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව පසුගිය ජූලි මාසය වනවිට ලොව බිලියනපතියන් 2,000 ක් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිය වත්කම් එක්සත් ජනපද  ඩොලර් ට්‍රිලියන 10.2කින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. එය මීට පෙර 2017 වසරේදී පැවැති ඩොලර් ට්‍රිලියන 8.9ක සීමාවකට ළගා වීමේ වාර්තාව පසුකර යාමකි.

මෙහිදී තාක්ෂණික, සෞඛ්‍ය සේවා, කර්මාන්ත යනාදී ක්ෂේත්‍රයන්හි බිලියනපතියන් වැඩි වශයෙන් සිය වත්කමක්  ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.

උදාහරණ ලෙස සෞඛ්‍ය ආරක්ෂණ ක්ෂේත්‍රයේ මුදල් ආයෝජනය කර ඇති බිලියන පතියන්ගේ වත්කම් පසුගිය ජූලි මාසය වනවිට ඩොලර් බිලියන 658.6ක් දක්වා 50.3% කින් ඉහළ නැග තිබේ. කොවිඩ් වසංගතය නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත්, එය ඉදිරියේදී තවත් ඉහළ යන බවත් පැවසෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පවතින දත්ත අනුව එරට තුළ වසංගතය ව්‍යාප්තවීම ඇරඹුණු පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා සෑම ඇමෙරිකානු බිලියනපතියන් සිව් දෙනෙකුගෙන්ම තිදෙනෙකුම තම දළ ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ.

එසේම වසංගතය ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ වුණු එම කාලසීමාවේ පමණක් ඇමෙරිකානු බිලියනපතියන් 16 දෙනෙකුට තමන්ගේ වත්කම් දෙගුණයකින් ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී ඇත.

ඒ අතරින් සුප්‍රසිද්ධ ඇමසෝන් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස් මෙම කාලසීමාව තුළදී තවත් ඩොලර් බිලියන 73ක  හිමිකරුවෙකු බවට පත්ව ඇත.  මේ වසර ආරම්භ වන විට ඔහු සතුව ඩොලර් බිලියන  113ක වත්කමක් පැවතුණි.

එසේම ෆේස්බුක් සමාගමේ සභාපති මාර්ක් සකර්බර්ග් මේ කාලය තුළදී තවත් අමතර ඩොලර් බිලියන 46ක් රැස් කරගෙන ඇති අතර, ඔහු සතුව ඒ වනවිටත් ඩොලර් බිලියන 54ක වත්කමක් පැවතුණි.

ටෙස්ලා සමාගමේ සහ ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් සිය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 25කින් ඉහළ නංවා ගනිමින් අද වනවිට සිය වත්කම ඩොලර් බිලියන 92ක් බවට පත් කරගෙන තිබේ.

මේ අතර, අද ලොව තුළ වාර්තා වන බිලියනපතියන් 2,189 දෙනෙකු අතරින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් පමණක් කොවිඩ්-19 වසංගතයට එරෙහි කටයුතු සඳහා සිය මුදල් පරිත්‍යාග කර ඇති අතර, එම පරිත්‍යාගවල වටිනාකම ඩොලර් බිලියන 7.2 ක් බවත් පැවසෙයි.

Visits: 310