පිට පිට දෙවැනි දිනයටත් අතිවිශාල පිරිවැටුමක් පෙන්වයි

අද (ඔක්තෝබර් 14) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදුවුණු ගනුදෙනුවලදී පිට පිට දෙවැනි දිනයටත් රුපියල් බිලියන 5 ඉක්මවූ දෛනික පිරිවැටුමක් පෙන්නුම් කරන්නට වෙළෙඳ පොළ සමත් විය. එහිදී තනි පුද්ගල ආයෝජකයන් මෙන්ම ආයතනික ආයෝජකයන්ද මේ සඳහා දායකත්වය ලබා දුන් බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,796.22 ත් ඒකක 5,920.22 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,890.13 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 13) දිනයට සාපේක්ෂව එය ඒකක 87.16 ක් එනම් 1.50%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව වැලිබල් පවර් එරත්න පීඑල්සී, සියෙරා කේබල්ස් පීඑල්සී, රෝයල් සෙරමික් ලංකා පීඑල්සී, ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සිදු කළ ගනුදෙනු හතරක් දිනයේ සමස්ත පිරිවැටුම සඳහා 7%ක දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 122ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 71ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේලීස් පීඑල්සී HAYL (+8.27), කොමර්ෂල්  බැංකුව පීඑල්සී COMB (+7.83), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+7.13),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.97), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+6.44),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-3.59), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.93),  නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (-1.94), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-1.68)  සහ ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL(-1.63) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,346.83 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 13) දිනයට සාපේක්ෂව ඒකක 43.02 ක එනම් 1.87%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.51ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 13දා) වාර්තා කළ රුපියල් බිලියන 5.04 ට සාපේක්ෂව 9%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.56ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.08%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 50.84ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 860.67 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 809.8කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.81ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.94කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 682.45ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.61ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය සහ උපයෝගිතා අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් බිලියන 1.41ක සහ රුපියල් මිලියන 926ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 184