‘පාරිභෝගික අත්දැකීම් සහ විශ්වාසය’ ලබාදීම වෙනුවෙන් ඩයලොග් වෙත සම්මානයක්

පසුගියදා පැවැත්වුණු TM Forum 2020 Excellence Awards සම්මාන උළෙලේදී ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම වෙත ‘පාරිභෝගික අත්දැකීම් සහ විශ්වාසය’ සඳහා වන සම්මානය හිමි වූ බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, මෙය එම සමාගම ගෝලීය පාරිභෝගික අත්දැකීම්හි ජයග්‍රාහකයෙකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තැබූ ඉදිරි පියවරක් බවටද ඩයලොග් ආසිආටා සඳහන් කර සිටියි.

මෙම සම්මාන ප්‍රදානය සිදු කරන TM Forum සංවිධානය ලොව දුරකතන සේවා සම්පාදකයන් සහ ඔවුන්ගේ පිළිගත් සැපයුම්කරුවන් පිරිසකගෙන් සමන්විත වන ගෝලීය දුරකතන සන්නිවේදන සංගමයකි. අද වනවිට ලොව රටවල් 180ක සමාගම් 850කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකත්වය දරයි.

විශේෂයෙන්ම මිලියන 15කට අධික පාරිභෝගිකයන් පිරිසක් සහ පුළුල්වෙමින් පවතින නිෂ්පාදන කළඹක්ද සමගින් අද වනවිට ඩයලොග් සමාගම සිය කටයුතු අතරින් මුල් පෙළේ කාර්යයන් 80%ක් පමණ ස්වයංක්‍රීයව සිදු කිරිමක් දක්වා ව්‍යාප්ත කරමින් සහ සිය සියලුම ක්ෂේත්‍ර හරහා ශක්තිමත් ඩිජිටල් පාරිභෝගික අත්දැකීමක් ලබා දෙමින් පාරිභෝගික ප්‍රතිපෝෂණ රැස් කිරීමේ සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ නිරතව සිටින බවත් පවසයි.

“එහි ප්‍රතිඵලයක් ලෙස  අද වනවිට අපගේ බෙදාහැරීමේ මාර්ග ක්‍රියාත්මක කිරීම් 100%ක්ම ස්වයංක්‍රීයව සිදු කිරීමේ හැකියාවක් ලබා ගැනීමටත්, සිල්ලර අලෙවි මෙහෙයුම් අතරින් 70%ක් කඩදාසිවලින් තොරව සිදු කිරිමට අවස්ථාව හිමි කරගැනීමටත්, පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ ගෙවීම් අතරින් 60%ක් ඉලෙක්ට්‍රොනික බිල් ලෙස පියවිමටත්, සියලුම ගෙවීම් අතරින් 50%ක් ම ඇප් වැඩසටහන්, වෙබ් අඩවි, kiosks සහ IVR යනාදී සේවාන් ඇතුළු අනෙකුත් ඩිජිටල් ක්‍රමවේද හරහා සපුරා ගැනීමේ අවස්ථාවත් සලසා දී තිබෙනවා.”  ඩයලොග් ආසිආටා සඳහන් කරයි.

මෙම TM Forum Excellence Awards සම්මාන ප්‍රදානය මගින් ගෝලීය සමාගම් තමන්ගේ මෙහෙයුම් ඩිජිටල් පරිණාමනයකට ලක් කරමින්, ව්‍යපාර සහ තොරතුරු තාක්ෂණික ලැදිබව වැඩි කරමින්, පාරිභෝගික කේන්ද්‍රගතබව ඇති කරගනිමින් සහ කර්මාන්තය අතර හවුල්කාරීත්වය සහ සහයෝගීතාව ඇති කරගැනීම මෙන්ම නිෂ්පාදන සහ සේවා නවෝත්පාදන හඳුන්වාදීම යනාදී කරුණු පිළිබඳව සිදු කරන නව්‍යකරණයන් පිළිබඳව අවධානය යොමු කරයි.

TM Forum Excellence Awards යටතේ ඇති කාණ්ඩ අටට අයත්, මෙම ‘පාරිභෝගික අත්දැකීම් සහ විශ්වාසය’ පිළිබඳ වන අංශය යටතේ දුරකතන සන්නිවේදන සමාගම් මගින් සිය ඩිජිටල් සේවා නිර්මාණය කරමින් සහ ඒවා කළමනාකරණය කරමින් පාරිභෝගිකයන් වෙත වඩා ඉහළ අත්දැකීමක් ලබා දීමට දක්වන දායකත්වය පිළිබඳව මෙන්ම පාරිභෝගිකයන් තුළ විශ්වාසය, පක්ෂපාතීත්වය සහ ව්‍යාපාරික වර්ධනය සුරක්ෂිත කිරිම යන කාරණා පිළිබඳව අගැයීමක් සිදු කරයි.

මෙම TM Forum 2020 Excellence Awards සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අදහස් දක්වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරී සැන්ඩ්‍රා ඩි සොයිසා, සිය කටයුතු සරලකිරීම, ස්වයංක්‍රීයකිරීම සහ ඩිජිටල්කරණයට ලක් කිරීම හරහා සිය සේවකයන්ට සිය පාරිභෝගිකයන් වෙත සේවා සැලසීමේදී වඩාත් සතුටුදායක අත්දැකීමක් හිමි කරගැනීමට අවස්ථාව උදා කර ඇතැයි පවසයි. එසේම සිය පාරිභෝගිකයන් ඩයලොග් සන්නාමය වෙත තවදුරටත් දක්වන විශ්වාසය පිළිබඳවද ඔවුන්ට ස්තූතිය පුද කරන බවද පවසයි.

මේ අතර අද වන විට ගෝලීය දුරකතන සන්නිවේදන කර්මාන්තය මගින් වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2ක පමණ ආදායමක් උත්පාදනය කරන බවත්, එහි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව බිලියන 5ක් ඉක්මවන බවත් පැවසෙයි.

Visits: 74