COVID-19 නිසා ආයෝජකයන් සිය ආයෝජන කලඹ යළි සැකසීමක

අද (ඔක්තෝබර් 12) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදුවුණු ගනුදෙනුවලදී බොහෝ ආයෝජකයන් තුළ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් මිල වැඩි කොටස් අලෙවි කිරීමක් මෙන්ම මිල අඩු කොටස් මිලදී ගැනීමේ ප්‍රවණතාව තවදුරටත් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම COVID-19 වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව පවතින විපරම් සහගත බවත් සමගින් ආයෝජකයන් මේවනවිට තමන්ගේ ආයෝජන කළඹ (Portfolio) යළි සැකසීමක් සිදු කරමින් සිටින බවත් එම සමාගම් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,814.18 ත් ඒකක 5,869.26 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,841.05 ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 09) දිනයට සාපේක්ෂව එය ඒකක 42.33 ක් එනම් 0.73%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මේ අතර පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වුණු කිසිදු ගනුදෙනුවක් අද දිනයේදී වාර්තා නොවීමත් විශේෂත්වයකි.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 136ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 64ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+9.43), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+4.38), ආර්.අයි.එල්. ප්‍රොපර්ටීස් පීඑල්සී RIL (+3.86),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.3), නවලෝක හොස්පිටල්ස් පීඑල්සී NHL (+3.24),  කොමර්ෂල් බැංකුව COMB (-4.29), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.63),  ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී LION (-1.93), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.88)  සහ එල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.53) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,334.71 ක අගයක් ගත් අතර, එය සිකුරාදා (ඔක්තෝබර් 09) දිනයට සාපේක්ෂව ඒකක 13.79 ක එනම් -0.59%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 09දා) වාර්තා කළ රුපියල් බිලියන 3.05 ට සාපේක්ෂව 24%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.54ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 10.83%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 63.53ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 287.95ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 224.4කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 42.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 24.7කි. එසේම ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී (ඡන්ද හිමි කොටස්) විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 106ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.04ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශයේ සමාගම් දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 841ක සහ රුපියල් මිලියන 431ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 278