ශ්‍රී ලංකාව සහ ඕමානය අතර බෝට්ටු නිෂ්පාදනය වෙනුවෙන් සහයෝගිතා එකඟතාව

බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ඕමානයේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තකරුවන් තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා ව්‍යාපාර සහ ව්‍යාපාර අතර (B2B) අන්තර්ජාල සාකච්ඡාවක් පසුගියදා සාර්ථක ලෙස පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයද ඊට දායකත්වය ලබා දී තිබේ. මෙහිදී දෙරටේම මුල් පෙළේ බෝට්ටු නිෂ්පාදන සමාගම්වල ප්‍රධානීන් මේ සඳහා සම්බන්ධවී ඇත.

විදේශ අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම අන්තර්ජාල වෙබ්නාර් සාකච්ඡාවේදී ඕමානයේ සුප්‍රසිද්ධ බෝට්ටු නිෂ්පාදන සමාගමක් වන Al Fairuz Group හි ප්‍රධාන විධායක නිලධාරී සලීම් අල් ටොයුකි සහ ශ්‍රී ලංකාවේ මුල් පෙළේ බෝට්ටු නිෂ්පාදන සමාගමක් වන නීල් ප්‍රනාන්දු ඇන්ඩ් කෝපරේෂන් (පෞද්) සමාගම, ධනුෂා ගෘප් ඔෆ් කම්පැනීස් සහ නෝර්ත්වෙස්ට් මැරීන් (පෞද්) සමාගම යන සමාගම් එකතු වී ඇත.

මෙහිදී සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අමීර් අජ්වාඩ් මහතා, ඉන්දියානු සාගරයේ කොටස්කරුවන් ලෙස මෙම ක්ෂේත්‍රය තුළ දෙරටම සහයෝගිතාවයෙන් කටයුතු කළ හැකි බව සඳහන් කර තිබේ. එසේම ධීවර කටයුතු මෙන්ම නාවික සංචරණය යන ක්ෂේත්‍ර තුළද දෙරටම අවස්ථාවන් පවතින බවත්, විශේෂයෙන්ම මෙම ක්ෂේත්‍ර සඳහා බෝට්ටු නිෂ්පාදනය කිරීම සඳහා දෙරමේ කර්මාන්ත වෙත ඉහළ විභවතාවක් පවතින බවත් පවසා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙරටේම බෝට්ටු නිෂ්පාදකයන් ඉදිරියේදී සිය කටයුතු පවත්වාගෙන යාම සඳහා ලබා දිය හැකි සහයෝග සම්බන්ධයෙන් මෙන්ම දෙපාර්ශ්වය වෙතම එක සමාගම ප්‍රතිලාභ අත්වන ප්‍රදේශ හඳුනාගැනීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමටද එකඟතාව පළ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රේමතිලක, එම මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයසිංග සහ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්ලිව්.ඩී.එන්.එම්. අබේසේකර යන මහත්ම මහත්මීන් මෙම අන්තර්ජාල සාකච්ඡාව සඳහා සහභාගි වී ඇත.

Visits: 115