ඩීඑෆ්සීසී රු.බිලියන 7ක ණයකර නිකුතුව අද

රුපියල් බිලියන 7ක මුදලක් සපයා ගැනීම අරමුණු කරගනිමින් ඩී.එෆ්.සී.සී. බැංකුව මගින් සිදු කරන ණයකර නිකුතුව අද (ඔක්තෝබර් 12) දිනයේදී නිල වශයෙන් කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කෙරෙන බව එම බැංකුව සඳහන් කරයි.

මෙහිදී බැංකුව විසින් බාසෙල් III නියමයන්ට අනුකූලව, ලැයිස්තුගත, වර්ග කෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන සහ නිදහස් කරවා ගත හැකි ණයකර කොටස් මිලියන 50ක් මෙලෙස නිකුත් කිරීමට තීරණය කෙරී තිබෙන බව බැංකුව පවසයි. එහිදී ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් නිකුත් කිරීමට නියමිතව ඇත.

එසේම පළමු ණයකර නිකුතුව සඳහා දැක්විය හැකි බවට බලාපොරොත්තු වන අධිඉල්ලුමත් සමගින්ම තවත් අමතර ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමටත් බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව මේ සමස්ත නිකුතුව හරහා මෙම රුපියල් බිලියන 7ක මුදල රැස් කිරීම සිදු වෙයි.

මෙහිදී A සහ B ලෙස වර්ග දෙකක් යටතේ මෙම ණයකර නිකුත් කිරීම සිදු වෙයි. එහිදී A වර්ගයට අයත් ණයකර නිකුතුව වසර පහක කාලයක් සඳහා වන අතර එහිදී වාර්ෂික පොළී අනුපාතය 9%කි. එසේම B වර්ගයට අයත් ණයකර නිකුතුව වසර 7ක කාලයක් සඳහා වන අතර එහි වාර්ෂික පොළී අනුපාතය 9.25% කි.

බැංකුව සඳහන් කරන ආකාරයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත නියමයන්ට අනුව, තනි පුද්ගල ආයෝජකයන් සඳහා අවම ආයෝජනයේ වටිනාකම රුපියල් 10,000කි. එනම් ණයකර 100කි. එසේම තනි පුද්ගල නොවන ආයෝජකයන් සඳහා අවම ආයෝජනය රුපියල් 5,000,000 ක් එනම් ණයකර 50,000 කි.

Visits: 245