“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම V හැඩය නොව W හැඩයම ගනීවි” – ආචාර්ය විජේවර්ධන

මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වීම සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් මීට පෙර පෙන්නුම් කළ W හැඩයේ පුරෝකතනය දැන් පිළිගත හැකි බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

යළිත් වටයකට රට තුළ උද්ගතව පවතින නව කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබෙන බව ඒ මහතා ද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වෙත කරුණු දක්වමින් පෙන්වා දෙයි.

“නව කොරෝනාව සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සම්බන්ධයෙන් මීට පෙර බොහෝ විශ්ලේෂකයන් මගින් සිදු කළ පුරෝකතන හරහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් තවත් රටවලට හිමි වන්නේ W හැඩයේ ආර්ථික ප්‍රකෘතිමත්වීමක් බවට සඳහන් කළා. හැබැයි ලාංකික ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහා දේශපාලනඥයන් එය V හැඩයේ ක්ෂණික ප්‍රකෘතිමත්වීමක් ලෙස පෙන්වා දුන්නා. එහෙත් දැන් ඇතිව තිබෙන මේ අලුත්ම සමාජය පාදක කරගත් දෙවැනි නව කොරෝනා රැල්ල නිසා එම විශ්ලේෂකයන් නිවැරදි බව ඔප්පු වී තිබෙනවා.” ආචාර්ය විජේවර්ධන මහතා සඳහන් කරයි.

ලෝක බැංකුව මගින් පසුගියදා නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය පිළිබඳ වන පුරෝකතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා පවසයි. මෙහිදී එම වර්ධනය -6.7%ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය වසරේදී සඳහන් කර තිබූ පුරෝකතනය වූ 2.3% සිට දරුණු කඩා වැටීමකි.

“ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකය අද පවතින්නේ ආර්ථික ඉතිහාසයේ වඩාත් අසීරුතම කාලපරිච්ඡේදයකයි. සාර්ථක එන්නතක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව සිය කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලෝකයට ඉගෙන ගැනීමට සිදුව තිබෙනවා.”

මෙම ආර්ථික ප්‍රකෘතිමත්වීම හැඩයන් හතරකින් පෙන්නුම් කරයි. ඒවා ක්ෂණිකව කඩා වැටී එම වේගයෙන්ම ආපසු ප්‍රකෘතිමත් වන ආර්ථිකයන් නිරූපණය කරන V හැඩය, කඩා වැටුණු ආර්ථිකය යම් කාලයක් ගතවීමෙන් පසුව ප්‍රකෘතිමත් වීම U හැඩයයි. කඩා වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත් වී යළි කඩා වැටී යළි ප්‍රකෘතිමත්වීම W හැඩය ගනී. එසේම කඩා වැටුණු ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් තත්ත්වයට පත් නොවී දිගු කලක් පහත මට්ටමකින් පැවතීම L හැඩය ගනී.

ඒ අනුව, දැන් පවතින අර්බුදය ලෝකයේ ජනතාව පොහොසත් රටක හෝ දියුණුවෙමින් පවතින රටක ජීවත්ව සිටියත් ඔවුන්ට සිය උපරිමයෙන් කටයුතු කිරීමේ අවස්ථාවන් මඟහරවා තිබෙන බවත් නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කරයි.

“සමස්ත රටම මේ දේ පිළිගන්න සූදානම් විය යුතුයි. ඒ හරහා ශ්‍රී ලංකාව වෙත දිගු කාලීන වර්ධනයක් ඇති කරගැනීමට වේදනාත්මක කැපකිරිම් සිදු කරන්න සිදු වෙනවා. එකිනෙකාට චෝදනා කරගැනීම මේ ප්‍රකෘතිමත් වීමේ කටයුතු අඩාල කරාවි.”  ඒ මහතා පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුවද මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය -1.6 ක අගයක් ගෙන තිබුණි. එහිදී වසංගතයේ බලපෑම අඩුවීමක් සමගින්ම තෙවැනි සහ සිව්වැනි කාර්තුවලදී එය යළි ඉහළ නගිනු ඇතැයි පුරෝකතනය කෙරී තිබුණි.

Visits: 774