වීවා සහ හෝර්ලික්ස් අලෙවිය හා බෙදාහැරීම යුනිලීවර් යටතට

මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රිය පෝෂණීය ආහාරමය පාන වර්ග දෙකක් වෙත වීවා සහ හෝර්ලික්ස් යන වෙළෙඳනාම යුනිලීවර් ශ්‍රී ලංකා හි ආහාරපාන නිෂ්පාදන ලැයිස්තුව සඳහා එකතු වී ඇතැයි පවසයි.

මෙම නිෂ්පාදන දෙක වෙළෙඳපොළට ඉදිරිපත් කළ ග්ලැස්කෝස්මිත්ක්ලයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගම සහ ඉන්දියාවේ  හින්දුස්ථාන් යුනිලිවර් ලිමටඩ් යන සමාගම් අතර ඇති කරගත් එකඟතාවකට අනුව මෙම කටයුතු සිදුව තිබේ.

ඒ අනුව මින් ඉදිරියට හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන් අලෙවි කිරීම සහ බෙදා හැරීමේ හිමිකාරීත්වය යුනිලීවර් සමාගම වෙත හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුනිලීවර් ශ්‍රී ලංකාහි ගෘහ ආරක්ෂණ, ආහාර පාන සහ ජලය පිළිබඳව අලෙවි අධ්‍යක්ෂිකා ශර්මිලා බණ්ඩාර මහත්මිය, &හෝර්ලික්ස් සහ වීවා පරම්පරා ගණනක ආදරය හා විශ්වාසය දිනාගත් පෝෂණීය සන්නාමයක්. ඒ ආකාරයේ නිෂ්පාදනයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ නියෝජනය කිරීමට ලැබීම පිළිබඳව ඉතා ගෞරවයක් කොට සලකනවා.” යනුවෙන් පවසා තිබේ.

හෝර්ලික්ස් ක්ෂුද්‍ර හා මහා පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත අත්‍යාවශ්‍ය පෝෂණ කොටස් රැසකගෙන් සමන්විත වන බවත්, වීවා ඊ විටමින් හා යකඩ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරිපුන් බවත් යුනිලිවර් ශ්‍රී ලංකා පවසයි. මෙම සුවිශේෂී ගුණාංග හේතුවෙන් පෝෂණයෙන් සපිරි සමාජයක්  නිර්මාණය කිරීමේ ප්‍රමුඛ අරමුණ වෙනුවෙන් කැපවී සිටින යුනිලිවර් සමාගම විසින් හෝර්ලික්ස් හා වීවා නිෂ්පාදනයන් පාරිභෝගිකයන් හට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව හා දැරිය හැකි මට්ටමින් ඒවායෙහි මිල පවත්වාගෙන යාම කෙරෙහි විශේෂ  අවධානය යොමු කොට ඇතැයිද සඳහන් කරයි.

මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි පෝෂණ අංශ ප්‍රධානී මිලින්ද වීරසිංහ මහතා, “වීවා සහ හෝර්ලික්ස් ආහාරමය පානයන් ලෙස ශ්‍රී ලංකාවේ ගුණාත්මක නිෂ්පාදන වෙළෙඳපොළ තුළ සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් අතර කීර්තියක් අත් කරගෙන තිබෙනවා. හෝර්ලික්ස් සහ වීවා යන සන්නාමයන් දෙකම යුනිලිවර් පවුලට ඉතා සාදරයෙන් පිළිගනු ලබනවා “ යනුවෙන් පවසා සිටියි.

Visits: 260