ලාෆ්ස් කෝපරේෂන් රබර් සමාගම වෙළෙඳ ඇමතිගේ නිරීක්ෂණයට

ලාෆ්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත අයත් ටයර් ඇතුළු රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාව වන හොරණ, මිල්ලෑව, මිරිස්වත්ත ප්‍රදේශයේ මොරගහහේනේ පිහිටි ලාෆ්ස් කෝපරේෂන් රබර් ලිමිටඩ් සමාගම ඊයේ වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කර්මාන්ත සඳහා යොදා ගන්නා රථ වෙනුවෙන් අවශ්‍ය විශාල ප්‍රමාණයේ ටයර් නිපදවීම මෙම කර්මාන්තශාලාව මගින් සිදු වෙයි. අපනයනය වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් මෙම නිෂ්පාදන සිදු කරයි.

මෙම අවස්ථාව සඳහා ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලි.කේ.එච්. වෑගපිටිය, සමූහයේ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා සහ සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී පියදාස කුඩාබාලගේ මහතා ඇතුළු ලාෆ්ස් කෝපරේෂන් රබර් ලිමිටඩ්හි නිලධාරීන් සහ සේවකයන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා, රට තුළ මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් වුණ දැවැන්ත අපනයන සමාගමක ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.

“අඩු ආදායම් ලාභී ගණයේ රටක් වූ අපේ රට මහින්ද රාජපක්ෂ යුගයේ දී මැදි ආදායම් ලාභී රටක් බවට සංවර්ධනය වුණා. පසුගිය වසර 05ක ආණ්ඩු කාල සීමාවේ දී කිසිදු අංශයක ප්‍රගතියක් ඇති නොවීම තුළ අපේ රට මැදි ආදායම් උගුළට හසු කරනු ලැබුවා. යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව අපේ රට නැවත ගොඩ නැගීමට නම් සිසුන් පාසල තුළත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල තුළත් කම්කරුවන් කම්හල් තුළත් ගොවීන් ගොවිපොළ තුළත් වැඩියෙන් වැඩ කිරීම මගින් සිදු කළ යුතු බවට ලෝක පිළිගත් න්‍යාය පාදක කර ගනිමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “රටේ සියළුම ආයතන සංවිධාන හා පුද්ගලයන් වැඩියෙන් වැඩ කළොත් පමණයි අපට එහි ප්‍රතිඵල ලඟා කරගත හැක්කේ. වෙළෙඳ විෂය භාර කැබිනට් අමාත්‍ය වශයෙන් අපනයන සංවර්ධන අභියෝගය මා වෙත පැවරී තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය ඒ අනුශාංගික ගැටළු විසඳීමට අපනයන සංවර්ධන අමාත්‍ය සභාව රැස්වුණා. එහිදී පුද්ගලික අංශයේ අපනයනකරුවන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අරමුදලක් පිහිටුවීමට මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. එතුළින් පෞද්ගලික අපනයනකරුවන්ගේ දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීමට හැකි වෙන බව මාගේ විශ්වාසයයි.” යනුවෙන්ද මෙහිදී පවසා ඇත.

මෙම අවස්ථාව සඳහා ගුවන්තොටුපොළ සහ නිදහස් වෙළෙඳ කලාප භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් හා නිලධාරීන් රැසක් ද, ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථී සංගමයේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත.

Visits: 419