ලාෆ්ස් හෝල්ඩිංග්ස් ඖෂධ නිෂ්පාදනයටත් පිවිසීමට යයි

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම තවත් වසරක කාලයක් ඇතුළතදී ඖෂධ නිෂ්පාදන කර්මාන්තය වෙතද පිවිසීමට අදහස් කරගෙන සිටින බව එම සමාගම පවසයි. එක්සත් ජනපද ඩොලර් මිලියන 30ක ව්‍යාපෘතියක් ලෙස සිදු කරන මෙය  ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ පරිපාලිත සමාගමක් වන ලාෆ්ස් ෆාමසූටිකල්ස් සමාගම හරහා දියත් කිරිම සැලසුම වී තිබේ.

දැනට කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙමින් පවතින සේලයින් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අවසන්වීමත් සමගින්,  ඉදිරි මාස 12ක කාලය ඇතුළතදී ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව එහි නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා මහතා පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබුණි.

“මේ සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ ව්‍යාපෘතියට සමගාමීව අපට පුළුවන් වෙනවා අපගේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපෘතියේ වැඩත් ආරම්භ කරන්න. ඒ වගේම මේ සඳහා අපි සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලා ව්‍යාපෘතිය අවසන් වන තුරුම බලා නොසිටින්නත් පුළුවන්. දැනටමත් රජය මගින් අපගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වන එකඟතාවකට පිවිස තිබෙනවා.” යනුවෙන් ඔහු පවසා සිටියි.

විශේෂයෙන්ම රජය මේ වනවිට දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් ඉදිරි වසර තුන ඇතුළතදී රට තුළින්ම සපයා ගැනීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කර තිබේ. පසුගියදා රජය සඳහන් කළ ආකාරයට මේ වනවිට රටෙහි ඖෂධ අවශ්‍යතාවයෙන් 85%ක්ම ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව වැයවෙන මුදල රුපියල් බිලියන 130කට ආසන්න වෙයි. 

එහිදී මෙරට ඖෂධ ආනයනයෙන් ඉන්දියාව හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා දායක වන අතර පාකිස්තානය, එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, බංග්ලාදේශය සහ එක්සත් රාජධානියෙන්ද ඖෂධ ආනයනය සිදු කරන බවත් පුවත්පත පවසයි.

මේ අතරම ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය ක්‍රමයෙන් වැඩිවත්ම වසර 2022 වන විට ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳ පොළ එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක වටිනාකමක් දක්වා පිවිසෙනු ඇතැයි දැනටමත් ගණන් බලා තිබේ.

Visits: 266