මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු විශ්‍රාම යයි?

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් සිය ධුරවලින් විශ්‍රාම ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා ශ්‍රී ලංකා මහ බැංකුව සතු දැනට සිටින වඩාත් ජ්‍යෙෂ්ටතම නිලධාරීන් දෙදෙනා ලෙසද සැලකෙයි.

ඒ අතරින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස 2011 වසරේදී පත් වූ අතර, කරුණාරත්න මහතා 2018 වසරේදී නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීම් ලැබීය. ඒ අනුව විශ්‍රාම යන අවස්ථාව වනවිට වීරසිංහ මහතා සතුව මහ බැංකුව තුළ වසර 29ක  සේවාකාලයක් සහ කරුණාරත්න මහතා සතුව වසර 32ක සේවාකාලයක් පැවති බව සඳහන් වෙයි.

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා, සිය විශ්‍රාම යෑමට පෙරාතුව පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට මාස තුනක නිවාඩුවක් ලබා ගෙන තිබේ. එසේම නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා සිය විශ්‍රාම යාමට පෙරාතුව පසුගිය සැප්තැම්බර් 5 වැනිදා සිට මාස තුනක නිවාඩුවක් ලබා ගෙන ඇතැයි මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන ඩේලිමිරර් පුවත්පත සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම්වලින් හිස්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුර සඳහා තවමත් කිසිවෙකුත් නම් කර නොමැති අතර, ඒ සදහා වන අයැදුම්පත් කැඳවීමට මහ බැංකුව කටයුතු යොදා ඇතැයිද පැවසෙයි.

අදාළ ඉල්ලා අස්වීම් සමගින් මහ බැංකුව තුළ සිටින එකම සේවයේ නිරත නියෝජ්‍ය අධිපතිවරයා බවට කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත්වෙයි. මහ බැංකුව සතු අනෙක් නියෝජ්‍ය අධිපතිවරයා වන එස්.ආර්. ආටිගල මහතා මේ වනවිට මහාභාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

මේ අතර ඉල්ලා අස් වූ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනා අතරින් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ දියණිය පසුගිය සැප්තැම්බර 25 වැනිදා තම ෆේස්බුක් ගිණුමේ පියා‍ගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව සටහන් කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ කිසිදු දේශපාලනඥයෙකු සිය පියාට මහ බැංකුව තුළ බලයක් ලබා දීමට කටයුතු නොකළ බවත් සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම සිය පියා දේශපාලනඥයන් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම ඊට හේතු වූ බව ඇය එහිදී සඳහන් කර තිබේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම යෝජනා වී තිබුණද, ජනපතිවරයා විසින් දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා එම තනතුරට පත් කළේය.

Visits: 73