LANKAQR ජාතික සමාරම්භක උළෙල පැවැත්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍ර ලාභී මූල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික ආයතනය සමග එක්ව සමාජය තුළ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතාවය අවම කිරීම අරමුණු කොට ගෙන හඳුන්වා දී ඇති LANKAQR වැඩසටහනේ ජාතික සමාරම්භක උළෙල ඊයේ (ඔක් 05) පෙරවරුවේදී මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිවි. ඩී. ලක්ෂ්මන් මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු විය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ  සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, සමූපාකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් මෙම උළෙලට සහභාගි වී තිබේ.

එසේම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තුව, බැංකු, ගෙවීම් සැපයුම් සේවා, වෙළෙද, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ට නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

මෙම LANKAQR කේතය උපයෝගී කරගෙන එම පහසුකම ඇති බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති මොබයිල් යෙදුම භාවිත කර ව්‍යාපාරවලට සහ සේවා සපයන ආයතනවලට ගෙවීම් කිරීමේ පහසුව සලසා දී ඇත.

මෙය විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් අඩු වියදම් ඩිජිටල් ගෙවීමේ ක්‍රමයක් වන බව මහ බැංකුව  පවසයි. LANKAQR මුද්‍රිත ලේබලය LANKAQR සාමාජික ආයතන විසින් ව්‍යාපාරිකයන් වෙත තම ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට නොමිලේ ලබා දෙයි.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළම වෙළෙඳ වට්ටම් අනුපාතය (වෙළෙඳුන් විසින් LANKAQR නිකුත් කරන බැංකුවය ගෙවවන මුදල) 2020 වර්ෂය තුළ 0.5ක් ලෙස නියම කොට තිබේ. LANKAQR භාවිත කොට ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට වෙතින් කිසිදු අයකිරීමක් නොකරනු ඇති අතර, මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා කරනු ලබන ගෙවීම් සඳහා නොමිලේ පහසුකම් සැපයෙයි.

මෙම ක්‍රමවේදය තුළින් ආර්ථිකයට අත්වන ප්‍රයෝජන සලකා බලා 2020 වර්ෂය අවසාන වන විට ව්‍යාපාර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් වෙත LANKAQR ගෙවීමේ පහසුකම  බැංකු ආයතනවිසින් ල බාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වෙයි.

LANKAQR අනුකූල QR කේත මේ වනවිට ලංකා බැංකුව, කාර්ගිල්ස් බැංකුව, කොමර්ෂල්  බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, එන්.ඩී.බී. බැංකුව, මහජන බැංකුව, පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම, සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව, එල්බී ෆිනෑන්ස් සමාගම, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම, ඩයලොග් ආසිආටා සමාගම සහ මොබිටෙල් (පුද්) සමාගම මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම LANKAQR සක්‍රීය යෙදුම් වන්නේ BOC SmartPay, Direct Pay, Onepay, OrelPay, ComBankQ+, Flash, DFCC Pay, FriMi, NDB NEOS, WePay, UPay, CIM, iPay, Dialog eZ Cash සහ Mobitel mCash ය.

‘රටපුරාම LANKAQR’ මූලාරම්භය සනිටුහන් කරමින් සියලු LANKAQR සාමාජික බැංකු, මූල්‍ය ආයතන සහ විද්‍යුත් මුදල් සේවා සැපයුම්කරුවන්, නව ව්‍යාපාරිකයන් LANKAQR භාවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා 2020 ඔක්තෝබර් 10 දින මහ බැංකුව මගින් රටපුරාම LANKAQR වැඩසටහන දියත් කිරීමට සැලසුම් කර ඇත. එහිදී මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවට සහභාගි වී  LANKAQR භාවිතය ආරම්භ කරන ලෙස මහ බැංකුව ඉල්ලා සිටියි.

Visits: 85