සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 462.99 කින් දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්වෙයි

රට තුළ අලුතින් හඳුනාගත් නව කොරෝනා පොකුරෙන් සිදු වියහැකි වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින බියත් සමගින්ම අද (ඔක්තෝබර් 05දා) කොළඹ කොටස් හුවමාරුව එතෙක් මෙතක් සිදු වුණු දරුණුතම දෛනික කඩාවැටීමට ලක් විය. එහිදී ආයෝජකයන් තුළ ඇති වූ හදිසි කලබලවීම නිසා බොහෝ කොටස් දැනට පවතින මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් පෙන්නූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

කොටස් හුවමාරුව ආරම්භයේදීම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය -5.00% මට්ටමෙන් පහතට වැටීම සිදු වුණු අතර, ඒ සමගම දෛනික ගනුදෙනු අත්හිටුවීම සිදු විය. එසේම විනාඩි 30ක විරාමයකින් පසුව යළිත් ගනුදෙනු ආරම්භයෙන් පසුවද එය -8.5% ක් දක්වා පහත වැටීම සිදු විය.

එහෙත් දිනයේ දෙවැනි අර්ධයේදී ගනුදෙනු තුළ පෙන්නුම් කළ යම් සාර්ථකත්වයත් සමගින් එම ඒකක අගය -10% මට්ටමකට පත් නොවීම නිසා තෙවැනි වරටත් ගනුදෙනු අත්හිටුවීමකින් තොරව වෙළෙඳ පොළ ගනුදෙනු පවත්වාගෙන යාමට හැකි විය. කෙසේ වෙතත් වසංගතයේ ව්‍යාප්තය සම්බන්ධයෙන් පවතින කටකතා ආයෝජකයන් තුළ විශ්වාසය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇති කර තිබූ බව තැරැව්කාර සමාගම් වැඩිදුරටත් පවසා සිටියි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,536.93 ත් ඒකක 5,871.45 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,587.18 ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 02) දිනයට සාපේක්ෂව එය ඒකක 462.99 ක් එනම් -7.65%ක  පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 5%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 4ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 232ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+1.10),  ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී TSML (+0.13), කහවත්ත ප්ලාන්ටේෂන් පීඑල්සී KAHA (+0.07),  සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී SINI (+0.00), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-25.04), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-22.27),  බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-16.6), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-15.61)  සහ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-14.89) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,288.51 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 02) දිනයට සාපේක්ෂව ඒකක 165.92 ක එනම් -6.76%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.82ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක් 02දා) වාර්තා කළ රුපියල් බිලියන 3.24 ට සාපේක්ෂව 18%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.42 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.01%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 59.20ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 201.96ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 142.8කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 40.66ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.66කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 166.47ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 820ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 21% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 670ක සහ රුපියල් මිලියන 652ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 242